Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වසර දෙකට රනිල් ගහපු ගේම මෙන්න – පනත් 90ක් සම්මත කරගෙන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අදට (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට ‘පිං ජනපති’ ලෙස ද විවේචන කරති.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එම ධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අභියෝගාත්මක කාල වකවානුවක් බව නොරහසකි.

ඒ වන විටත් ගාලු මුවදොර පිටියේ මෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහජනතාව සිස්ටම් ‘චේන්ජ්’ එකක් අවශ්‍ය බව පවසමින් විරෝධතා හා උද්ඝෝෂණ කරමින් කඳවුරු බැඳ සිටියහ.

‘හුණු වටයේ කතාවෙන් ඇරඹුණු ගමන’

ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ඒ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වීම හේතුවෙනි.

2022 වසරේ මැයි මස 16 වැනිදා ජාතිය අමතමින් එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් භාර ගනු ලැබුවේ අනතුරුදායක අභියෝගයක් බවය.

“මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා.ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න. මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.”

ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
ඡායාරූප ශීර්ෂ වැකිය,ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය

‘ ජනපතිවීම සහ රටේ පැවති අභියෝගයන්’

ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ජනාධිපති මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත (1981 අංක 2) යටතේ පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්ද විමසීමකට අනුව ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීය.

2019 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දරුණු පරාජයකට මුහුණ දුන්න ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නිසා පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා බවට පත්වුයේ වසර 3කට ආසන්න කාලයක් තුළදීය.

ජනාධිපතිධුරයේ දිවුරුම් දී පැය 12ක් ගතවීමටත් පෙර රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අංශ යොදවා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන විට මෙරට තුළ ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ඖෂධ සහ භාණ්ඩ මිලදී ගැනීමට මහජනතාවට පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවුයේ පැය 10-12 වැනි දීර්ඝ විදුලි කප්පාදු වලටද මුහුණ දෙමින්ය.

ඒ වන විටත් ශ්‍රී ලංකාව සිය අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ ඉන්දියාව විසින් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජය මතය.

‘අර්බුදයට විසඳුම් සොයා යෑම’

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින උග්‍ර ආර්ථික පීඩනයට පිළියම් සොයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට රජය තීරණය කරනු ලැබුවේ 2022 වසරේ දී ය.

ඒ අනුව, එවක මුදල් අමාත්‍යවරයාව සිටි ජනාධිපති නීතීඥ අලී සබ්‍රි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස අප්‍රේල් මාසයේ දී ඇමෙරිකාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවී සාකච්ජා කරන ලදී.

එහිදී ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා මෙරට ණයහිමියන් සමග එකඟතාවයන් ඇතිකර ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ පරිදි ශ්‍රී ලංකාව සිය ප්‍රධාන ණය හිමියන් වූ පැරිස් සමාජය සහ චීනයේ එක්සීම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වෙත එළඹීමට ඉකුත් ජුනි මස 26 වෙනිදා සමත් විය.

එම තීරණය ගැන ජනතාවට දැනුම් දෙමින් ජාතිය අමතා සිදුකළ කතාවේදී ජනාධිපතිවරයා පැවසුවේ එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ‘ලංකා මාතාව යන දරුවා’ අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවය.

ජනාධිපති ධුරයට පත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

‘මට කියා කවුරුත් හිටියේ නැහැ’

ඉකුත් ජුනි 26 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපති ධුරයට පත්වන විට තමන්ටම කියා මන්ත්‍රීවරයෙක් හෝ ඇමති මණ්ඩලයක් නොසිටි බවය.

“මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.”

කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සිය වසර දෙකක ධුර කාලය සම්පුර්ණ කරන විට පනත් 90ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන තිබේ.

එලෙස සම්මත කෙරුණු පනත් අතරට මන්ත්‍රීවරුන් ගේ යෝජනා අනුව ඉදිරිපත් කළ පනත් 10ක් ද ඇතුළත් වේ.

කෙසේ වුවත් ආදායම් බදු පනත , මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබඳ පනත, විදුලිබල පනත ඇතුළු පනත් රැසකට එරෙහිව මහජනතාව, වෘත්තීය සමිති ඇතුළු විවිධ වෘත්තිකයින්ගෙන් එල්ලවූ විරෝධතා මැද ඒවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා අයුරු ද නිරීක්ෂණය විය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී දෙවසරක් තුළ සම්මත වූ පනත්

16/09/2022

IMAGE COPYRIGHT BYGETTY IMAGES

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය 

23/2022 කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)

22/09/2022

මුදල් අමාත්‍යාංශය 

21/2022 විසර්ජන (සංශෝධන)

22/09/2022

මුදල් අමාත්‍යාංශය 

25/2022 සමාජ ආරක්ෂණ දායකත්ව බදු

21/10/2022

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය 

27/2022 ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන)

25/10/2022

අධිකරණ අමාත්‍යාංශය 

29/2022 අන්තිම කැමති පත්‍ර (සංශෝධනය)

25/10/2022

අධිකරණ අමාත්‍යාංශය

30/2022 වංචා වැළැක්වීමේ (සංශෝධන)

31/10/2022

අධිකරණ අමාත්‍යාංශය 

0000 විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

31/10/2022

අධිකරණ අමාත්‍යාංශය 

32/2022 ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන)

17/11/2022

අධිකරණ අමාත්‍යාංශය 

35/2022 පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන)

17/11/2022

අධිකරණ අමාත්‍යාංශය 

36/2022 සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)

17/11/2022

අධිකරණ අමාත්‍යාංශය 

37/2022 උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන)

17/11/2022

අධිකරණ අමාත්‍යාංශය 

38/2022 අපරාධ නඩු විධාන සංග්‍රහය ( සංශෝධන)

30/11/2022

මුදල් අමාත්‍යාංශය 

43/2022 විසර්ජන

30/11/2022

මුදල් අමාත්‍යාංශය 

42/2023 විසර්ජන (සංශෝධන)

14/12/2022

මුදල් අමාත්‍යාංශය 

44/2022 එකතු කළ අගය මත බද්ද (සංශෝධන)

19/12/2022

මුදල් අමාත්‍යාංශය 

45/2022 දේශීය ආදායම් (සංශෝධන)

24/01/2023

අධිකරණ අමාත්‍යාංශය 

3/2023 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ

08/05/2023

මුදල් අමාත්‍යාංශය 

4/2023 දේශීය ආදායම් (සංශෝධන)

27/06/2023

අධිකරණ අමාත්‍යාංශය 

7/2023 සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)

08/08/2023

අධිකරණ අමාත්‍යාංශය 

9/2023 දුෂණ විරෝධී

08/08/2023

අධිකරණ අමාත්‍යාංශය 

10/2023 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ

21/08/2023

මුදල් අමාත්‍යාංශය 

12/2023 විසර්ජන (සංශෝධන)

21/08/2023

මුදල් අමාත්‍යාංශය 

11/2023 ඔට්ටු ඇල්ලීම සහ සුදු බදු ( සංශෝධන)

08/09/2023

මුදල් අමාත්‍යාංශය

15/2023 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)

08/09/2023

මුදල් අමාත්‍යාංශය 

14/2023 දේශීය ආදායම් (සංශෝධන)

14/09/2023

මුදල් අමාත්‍යාංශය 

17/2023 බැංකු (විශේෂ විධිවිධාන)

17/10/2023

අධිකරණ අමාත්‍යාංශය

20/2023 සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)

17/10/2023

අධිකරණ අමාත්‍යාංශය

21/2023 මැතිවරණ ( විශේෂ විධිවිධාන)

17/11/2023

අධිකරණ අමාත්‍යාංශය 

28/2023 දුෂණ විරෝධී (සංශෝධන)

17/11/2023

මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත නීතිඥ 

30/2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)

13/12/2023

මුදල් අමාත්‍යාංශය 

34/2023 විසර්ජන

13/12/2023

මුදල් අමාත්‍යාංශය 

2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත

13/12/2023

මුදල් අමාත්‍යාංශය 

33/2023 මුදල්

23/01/2024

අධිකරණ අමාත්‍යාංශය

4/2024 වංචා වැළැක්වීමේ (සංශෝධන)

23/01/2024

අධිකරණ අමාත්‍යාංශය

1/2024 ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන සඳහා වන කාර්යාලය

01/02/2024

අධිකරණ අමාත්‍යංශය

8/2024 අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම

01/02/2024

මහජන ආරක්ෂක අමාත්‍යාංශය 

9/2024 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ

20/03/2024

මුදල් අමාත්‍යාංශය 

16/2024 එකතු කළ අගය මත බද්ද (සංශෝධන)

20/03/2024

මුදල් අමාත්‍යාංශය 

15/2024 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)

01/04/2024

මුදල් අමාත්‍යාංශය 

21/2024 කල්බදු මුල්‍යකරණය (සංශෝධන)

10/04/2024

මුදල් අමාත්‍යාංශය 

24/2024 බැංකු (සංශෝධන)

03/05/2024

අධිකරණ අමාත්‍යාංශය 

25/2024 අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)

08/05/2024

මුදල් අමාත්‍යාංශය 

26/2024 බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)

18/06/2024

මුදල් අමාත්‍යාංශය 

33/2024 රාජ්‍ය ණය කළමනාකරණය

27/06/2024

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය 

36/2024 නව විදුලිබල පනත

02/07/2024

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශය 

37/2024 කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත

‘පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමිවෙලා’

එම පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඒවා සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීම ද කැපී පෙනෙන සිදුවීමක් වේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ සහය ඇතිව බහුතර ජන්දයෙන් එම පනත් සම්මත කරගෙන තිබෙන බවය.

“SLPP මන්ත්‍රීවරුන්ගේ බහුතර සහය අරන් තමයි මේ පනත් සියල්ල සම්මත කරන් තියෙන්නේ.”

“මේ පනත් සියල්ලම නීත්‍යානුකුලව ගෙනල්ලා තියෙන්නේ. ජනාධිපති කෙනෙක් පත් කරලා තියෙන්නේ වැඩ කරන්නනේ. පාර්ලිමේන්තුවේ සහය නැතිව වැඩ කරන්න බැහැ නේ. පාර්ලිමේන්තුවේ සහය අරන් තමයි ඒක කරන්න ඕන.”

“ජනාධිපතිවරයාට වැඩ කරන්න තියෙනවා. ආණ්ඩුව ගෙනියන්න සමහර විට අලුත් නීති රීති හදන්න වෙනවා. ව්‍යවස්ථාට විරෝධීව කරනවානම් තමයි ඒක ගැටලුවක් වෙන්නේ.”

“නමුත් ප්‍රශ්නය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවට සුජාතභාවයක්‌ තිබෙනවාද කියලයි බොහෝ ජනතාව ප්‍රශ්න කරන්නේ.

“අපට ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් පාලන මැතිවරණය අත්‍යවශ්‍යයි. මේ ඔක්කොම කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය සමාජය යහපාලනය තියෙන්න ඕන. එහෙම නැතුව ගැටළු ඇතිවනවා.” ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු පැවසුවේය.

පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඒවා සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,මෙම පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ඒවා සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා සමත් විය

‘පනත් සම්මත කිරීමේදී ලොකු අඩුපාඩු තියෙනවා’

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ දෙවසරක පාලන සමයේදී පනත් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවත් ඇතැම් පනත් සම්මත කර ගැනීමේදී අඩුපාඩු දකින්නට ලැබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ජනාධිපති නීතිඥ සාලිය පිරිස් බීබීසී සිංහල වෙත පැවසුවේය.

“පනත් විශාල ගාණක් සම්මත කරලා තියෙනවා. හැබැයි මේ පනත් අතරේ මහජනතාවගේ අදහස් විමසීමකින් තොරව ගෙනල්ලා සම්මත කර ගත් පනත් තිබෙනවා. ඇතැම් පනත් ගැන බොහෝ දෙනා ගේ විවේචන වගේම විරෝධතා එල්ල වු අවස්ථා දකින්න ලැබුණා.”

“විශේෂයෙන් අදහස් යෝජනා විමසීමකින් තොරව පනත් සම්මත කර ගැනීමේ ආණ්ඩුවේ ලොකු අඩුපාඩුවක් දකිනවා.”

“හොඳම උදාහරණය තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත. අවම මහජන හෝ නීති විශාරදයින්ගේ අදහස් විමසිමකින් තොරව පාර්ලිමේන්තුවට ගෙනල්ලා හදිසියේ සම්මත කර ගෙන දැන් ඒකට සංශෝධන ගෙන්න හදනවා.”

“පනත් කොච්චර ගෙනල්ලා සම්මත කර ගත්තත් ප්‍රයෝජනයක් නැහැ එකේ තිබෙන ප්‍රතිඵලය ගැන බලන්න ඕන.”

“ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ වගේ විශාල පනත් සංඛ්‍යාවක් සම්මත කර ගත්තත්, එම පනත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය පහසුකම් සැපයීමේ දී විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු වෙනවා. මම අර කලින් කිව්ව වගේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය ගැන වූ පනත වගේ එකක් උදාහරණයට අරන් බලන්න.”

“ව්‍යවස්ථා දායක ක්‍රියාදාමයේ ප්‍රධාන වගකීම තමයි තිරසාර නීති ගෙන එන එක. අපි මේක කරා කියන තැන කොටුව ඇතුලේ හරි ලකුණ දාලා නිකම් ඉන්නවට වඩා රටට වැඩදායි නීති හඳුන්වා දීමයි වැදගත් වෙන්නේ.නැතිව කොච්චර පනත් ගානක් සම්මත කළාද කියන ඉලක්කම නෙමෙයි වැදගත් වෙන්නේ.” ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පැවසුවේය.

‘IMF කියන නමට මුවා වෙලා පනත් සම්මත කර ගන්නවා’

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ පනත් සම්මත කර ගැනීමේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යන නමට මුවාවී කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිනි මහාචාර්ය විශාඛා සුරියබණ්ඩාර බීබීසී සිංහල වෙත පැවසුවාය.

ඇය වැඩිදුරටත් සඳහන් කලේ ඇතැම් කටයුතු දෙස බලන කළ එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අයුරින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති බවය.

“මේ ජනාධිපති ගත්තොත් අනුප්‍රාප්තික ලෙසට පත්වුණු කෙනෙක් ඉන්නේ. එහෙම බලද්දී මේ කාල සීමාවේදී පනත් 90ක් සම්මත වෙලා තියෙනවා. නමුත් මේ සමහර පනත්වල තියෙන්නේ මොනවාද කියලවත් ජනතාව දැනුවත් වෙලා නැහැ.”

“මේ තත්ත්වය මමනම් දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී තත්ත්වයක් විදිහට. ජනාධිපතිධුරය වගේම පාර්ලිමේන්න්තුව පත්වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යට අනුවයි. මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යට කරන අභියෝගයක් විදිහට පෙන්නේ. ඒක විශාල ප්‍රශ්නයක්.”

“ජනතාව ඉක්මවලා ජනාධිපතිවරයා මේ ආකාරයෙන් වැඩ කරනවා කියන්නේ එතුමා ජනතාවට වගකියන්නේ නැහැ. ජනාධිපතිතුමා වගකියන්නේ මේ පනත් වලට අනුමැතිය දෙන අයට විතරයි. එතකොට මේ කණ්ඩායමත් එක පැත්තකින් ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. මේක මම දකින්නේ ජනතාව මර්දනය කරන වර්තමානයට සහ අනාගතයට අවශ්‍ය පනත් අනුමත කර ගැනීමක් විදිහටයි.’

“උදාහරණයක් විදිහට මාර්ගගත පනත. ඒක විශාල කතා බහකට ලක්වුණු පනතක් වුනත් ඔවුන්ට ඕන කරන විදිහට ඒක සම්මත කර ගත්තා. ඒක ජනතාවට හොඳ තත්ත්වයක් නෙමෙයි.”

“රජය ගෙනාපු බදු පනත නිසා බොහෝ වෘත්තිකයින් අපහසුතාවයට පත් වුණා.”

“අප කියන්නේ නැහැ බදු අය කරන්න එපා කියලා. නමුත් ඒ ගැන කතිකාවතක් නැහැ.”

“ඇතැම් ප්‍රශ්න ආණ්ඩුව විසඳන්නේ ජනතාව අනවශ්‍ය ප්‍රශ්නයකට ඇද දමලා කියලා හිතෙන අවස්ථා තිබෙනවා.”

“විශේෂයෙන් IMF කියන වචනය යටතට මුවා වෙලා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පනත් ආදිය සම්මත කර ගන්නවා.”

“දැන් කියන්න පුළුවන් පෝලිම් නැහැ, විදේශ මුදල් තියෙනවා කියලා. නමුත් අපි තවම විදේශ ණය ගෙවන්න ආරම්භ කරලා නැහැ. එතකොට කාටද කියන්න පුළුවන් අපි මේ ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීපු රටක් කියලා.”

“මේ රට තවම තියෙනේ භයානක තැනක.” මහාචාර්ය විශාඛා සූරීයබණ්ඩාර පැවසුවාය.

‘පක්ෂ වලට බොරු කියන්න බැරි පනත් ගෙනාවා’

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ජුලි 17 වෙනිදා පැවති උත්සවයක් අතරවාරයේදී එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේ ‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශපාලන පක්ෂ වලට බොරු කියන්න බැරි පනත් ගෙනැවිත්’ ඇති බවය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අවුරුදු දෙකට පනත් 90ක් ගෙනල්ලා තියෙනවා.”

“දේශපාලන පක්ෂ වලට බොරු කියන්න බැරි පනත් ගෙනල්ලා තියෙනවා. අයවැය කාර්යාලය පිහිටුවලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 152 දක්වා මුදල් පාලනය කිරීමේ පනත එතුමා ගෙනල්ලා තියෙනවා.”

“ආර්ථික පරිවර්ථන පනත ගෙනල්ලා තියෙනවා. ඒ පනතෙන් තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා එතුමා කියන්නේ ‘ මීට පස්සේ දේශපාලන පක්ෂ වලට බොරු කියන්න බැරි නීති මම ගෙනල්ලා තියෙනවා කියලා. අයවැය කාර්යාලය මම පිහිටුවලා තියෙනවා. දුෂණ වංචා නැති කරන්න ආසියාවේ තියෙන බලවත්ම දුෂණ විරෝධී පනත මම සම්මත කරලා තියනවා කියලා.’ ඔය පනත් වලින් සීමිත ගාණක් මම කිව්වේ, පනත් 90ක් සම්මත කරලා තියනවා.”

“ජාත්‍යනන්තර මුල්‍ය අරමුදලටයි, ලෝක බැංකුවටයි, ආසියානු සංවර්ධන බැංකුවටයි, ජයිකා ආයතනයටයි, ලෝකයේ ණය ගත්තු රටවල් වලට කියලා තියෙනවා අපි විනය ගරුක මුදල් පරිහරණය කරන සමාජයක් කියලා.”

“මේකෙන් පිට පැන්නොත් අපිට වෙන පාරක් නැහැ. එකයි පාර්ලිමේන්තුවේ ජාතික සභාව පිහිටෙව්වේ. ඕන පක්ෂයක් ඇවිල්ලා යන්න පාරක් තියෙනව නම් කියන්න කියලා.” එජාප සභාපතිවරයා පැවසීය.

© BBC සිංහල වෙබ් අඩවියෙන් උපුටා පළකරන ලදී. ලිපියේ සියලු අයිතිය ඔවුන් සතුය.

About The Author