Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහා ඇලෙක්සැන්ඩර් පිළිබඳ නොදත් තතු.

වයස අවුරුදු තිස් දෙක පමණ වන විට ලොව වැඩි ම රටවල් ප්‍රමාණයක් තමාගේ ම කර ගැනීමට තරම් හපනෙකු වූ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා පිළිබඳ අසා නැති කෙනෙකු නොමැති තරම් ය. ඔහු මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුතණුවෝ ය. මිය යන විට ඔහු බෝල්කන් සිට පාකිස්තානය දක්වා සියලු ප්‍රදේශ අත්පත් කරගෙන සිටියේ ය. 

1. ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා වූයේ ඇරිස්ටෝටල් පඬිවරයා ය. එහෙත් ඔහු වඩාත් ප්‍රිය කළ ගුරුවරයා දියෝගිනස් වූ බව පෙනේ. දියෝගිනස් යනු අල්පේච්ඡතාව ඉහළින් අගය කළ පඬිවරයෙකි. ඔහු ඇලෙක්සැන්ඩර් ඇතුළු ප්‍රභූ පැලැන්තිය අභියෝගයට ලක් කළේ ය.

දිනක් ඇලෙක්සැන්ඩර් දියෝගිනස් විසූ ස්ථානය (ඔහු ජීවත් වූයේ මැටිවලින් තනා ගත් විශාල භාජනයක් තුළ ය.) වෙත ගොස් විමසුවේ රජ මාලිගයෙන් දියෝගිනස්ට ලැබිය යුතු යම් උපකාරයක් වේ නම් පවසන ලෙස ය. එවිට පඬිවරයා, “ආපෝ! මට නම් මොකුත් එපා. ඔහේ මට කරන ලොකුම උදව්ව තමයි මෙතනින් තොලොංචි වෙන එක. මොකද මං මෙතන අව්ව තපිනවා. ඔහේ මෝඩයෙක් වගේ මගේ ඉර අව්ව වහගෙන ඉන්නෙ”.

සිනාසුණු ඇලෙක්සැන්ඩර් එතනින් ඉවත් විය. ඔහු පඬිවරයාගේ පිළිතුර කෙතරම් අගය කළේද කියතොත් “මම ඇලෙක්සැන්ඩර් නොවුණා නම් අනිවාර්යයෙන් ම දියෝගිනස් වගේ වෙනවා” යැයි පැවසුවේ ලු.

2.වසර පහළොවක සටන් ජීවිතය තුළ ඔහු කෙදිනකවත් පරාජය වී නොමැත. වයස අවුරුදු දහඅටේ දී සිදු කළ ප්‍රථම සටනේ දී, ඔහුගේ උපක්‍රමය වූයේ කුඩා කණ්ඩායම්වලට බෙදී වේගයෙන් දිව ගොස් සතුරා සූදානම් වීමට පෙර පහර දී විනාශ කිරීම ය. මහා ඇලෙක්සැන්ඩර්ගේ සටන් උපක්‍රම වර්තමාන යුධවලදී ද සැලකිල්ලට භාජනය වේ.

3.ඔහු තමා යටත් කරගත් නගර සියල්ල නම් කළේ තමාගේ නමිනි. එනම්, “ඇලෙක්සැන්ඩ්‍රියාව” යි. එහෙත් එක් ප්‍රදේශයක් පමණක් ඔහු අතිශයින් ආදරය කළ, එසේම සටන්වල දී ඔහුට බෙහෙවින් සහය වූ අශ්වයාගේ නමින් නම් කෙරිණි. 

“බියුසිෆාලා” නම් වූ මෙම ප්‍රදේශය කුමන ස්ථානයක පවතිනවාද යන්න ගැන නිවැරදි තොරතුරු නැතත්, එය වර්තමාන පාකිස්තානය ආශ්‍රිත ව පිහිටිය හැකි බවට සැක පහළ වේ.

4.ඇලෙක්සැන්ඩර්ගේ ශරීරයෙන් ඉමිහිරි සුගන්ධයක් වහනය වී තිබේ. ඔහු සුවඳ විලවුන් ගැල්වුවත් නැතත්, ඔහුගේ ඇඳුම් සියල්ල එම ජීවන සුවඳින් වෙළී පැවතුණු අතර, එම හේතුව නිසාම මිනිසුන් ඔහු සියුස් දෙවියන්ගේ (ග්‍රීක දෙවිවරුන්ගේ බලවන්තයා) පුතණුවන් ලෙස හැඳින්වූයේ ලු.

5.වසර හයක පමණ වෙහෙසකින් පසු ඔහු “පර්සිපොලි” නමැති පර්සියානු මධ්‍යස්ථානය යටත් කර ගත්තේ ය. එහි විසූ මිනිසුන් පාලනය කිරීම සඳහා පහසු ම මඟ නම් පර්සියානුවෙකු ලෙස හැසිරීම බව වටහා ගත් ඇලෙක්සැන්ඩර්, එයින් පසු සිය නිළ ඇඳුම පවා පර්සියානු සංස්කෘතියට අනුව වෙනස් කර ගත්තේ ය. 

ක්‍රි.පූ. 324 දී ඔහු එම මධ්‍යස්ථානය තුළ අතිවිශාල විවාහ මංගල උත්සවයක් සංවිධානය කළ අතර, ඔහුගේ හේවායන් අනූ දෙදෙනෙකුට බලහත්කාරයෙන් පර්සියානු කාන්තාව බැගින් සරණ පාවා දුන්නේ ය. ඔහු ද “ස්ටැටෙයිරා” සහ “පැරිසැටිස්” නම් කාන්තාවන් දෙදෙනෙකු එකවර විවාහ කර ගත්තේ ය.

6.ක්‍රි.පූ. 323 දී, එනම් වයස තිස් දෙකේ දී, යුධ ජයග්‍රහණයකින් පසු පැවැත්වුණු උත්සව දිනක රාත්‍රියේ ඇලෙක්සැන්ඩර් අසනීප විය. දින දොළොසකට පසු ඔහු මිය ගිය අතර තවත් දින හයක් එම මළ සිරුර නරක් නොවී තිබීම මහා පුදුමයක් විය. මෙයට හේතුව මැලේරියාව, පෙණහලු ආසාදනයක් හෝ විෂ ශරීරගත වීමක් බව විශ්වාස කෙරේ.

එහෙත් වර්තමාන විද්‍යාඥයන්ට අනුව ඔහුට තිබී ඇත්තේ “ජී.බී.එස්.” නම් වූ දුර්ලභ ගණයේ ස්නායු රෝගයකි. එයින් ස්වාභාවිකව ම අභ්‍යන්තර ස්නායු මරා දැමෙයි. ඔහු අධික ලෙස වයින් පානය කළ රාත්‍රියට පසු දින උදයේ තමාට වෙහෙස දැනෙන බවත් ශරීරය වේදනා දෙන බවත් කියා ඇත. පසුව උදරයේ වේදනාවක් ද උණ ද වැළඳී තිබේ. දෙවන දින වන විට ඇඳෙන් නැගිටීමට නොහැකි වන අතර දිනෙන් දින එකින් එක ඔහුගේ ස්නායු සෛල බිඳ වැටී තිබේ. 

දොළොස් වන දින ඔහු කෝමා තත්ත්වයට පත් වූ අතර වෛද්‍යවරු රෝගියා මිය ගිය බවට නිගමනය කළහ. එහෙත් සැබවින් ම ඇලෙක්සැන්ඩර් මිය ගියේ දහඅට වන දිනයේ දී ය. ඔහුගේ සිරුර නරක් නොවී පැවතුණේ ඒ වන විටත් ඔහු මිය ගොස් නොතිබුණු බැවිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author