Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබ අප පැතූ නායකයා නොවෙයි : පවුලේ දුෂ්ට බලවේග ඔබ ජනතාවගෙන් දුරස් කළා : ජයන්ත සමරවීර ජනපතිට ලියයි

හෘද සාක්ෂියට එකඟව තව දුරටත් මේ ආණ්ඩුවේ ඇමතිකම් වල ඉන්න බෑ

සිදුවුන දෑ දෙස බලමින් හෘද සාක්ෂියට එකඟව තවදුරටත් ආණ්ඩුවේ සිටීමට නොහැකි බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අප වෙත ලැබී තිබෙනවා.

එහි දක්වා තිබෙන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලාපොරොත්තු වූ දේශපාලන නායකත්වයෙන් බැහැරට ගොස් ඇති බවයි.

පවුලේ දුෂ්ට බලවේග හේතුවෙන් ඔහුට මෙය සිදුව ඇති බව ද ජයන්ත සමරවීර මහතා යොමු කළ ලිපියෙහි සඳහන්.

ඒ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ඉල්ලා අස්වීමේ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති කාර්යාලය
ගාලූ මුවදොර
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම

වර්තමාන ආන්ඩුවේ පැවැත්මට අදාල ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් පක්ෂයක සාමාජිකයෙකු ලෙස සහ මහජන නියෝජිතයෙකු ලෙස මෙන්ම රටවැසියෙකු ලෙස අද දින ඔබතුමා අමතනු ලබන්නේ බලවත් සිත් වේදනාවෙනි.

අතිගරු ජනාධිපතිතුමනි,

එදා 2019 නොවැම්බර් 16 වෙනි දින ලාංකීය දෑ හිතකාමී ජනතාව හැට නම ලක්ෂයයේ ඓතිහාසික ජනවරමින් අප සදාදරණීය මාතෘ භූමියේ භාරකාරත්වය ඔබතුමා වෙත පවරනු ලැබූයේ, ඔබතුමන් පිලිබඳව වූ ගැඹුරු විශ්වාසයකින් සහ බලාපොරොත්තුවෙනි.

අප දන්නා, විදේශගතව සිටි ශ‍්‍රී ලාංකිකයන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත විදේශගත ශ‍්‍රී ලාංකිකයෝ සිය පෞද්ගලික වියදමින් ගුවන් ටිකට් පත් ලබාගෙන 16 වෙනි දින හිමිදිරියේම ලංකාවට පැමිණ ඡුන්ද පොලට ගොස් ඔබතුමා වෙත ඡන්දය ලබාදී නැවත ආ පයින්ම විදේශ ගතවීමෙන් පෙන්නුම් කළේ ඔබතුමන් කෙරෙහි තැබුවා වූ එකී විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ ගැඹුර මිස අන් කිසිවක් නොවන බව කිවමනාය. ඔවුන් ඔබතුමා වෙතින් අපේක්ෂා කළේ මව්බිමේත්, ජනතාවගේත් සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා කලට වේලාවට නිවැරදි තීන්දු තීරණ ගන්නා නිර්භීත උසස් නායකත්ව පෞරුෂයකි.

එහෙත් අවාසනාවකට අද ඔබතුමන් වෙතින් විද්‍යාමාන වනුයේ ඊට බොහෝ සෙයින් වෙනස් නායකත්ව භාවිතාවකි. එකී අවාසනාවන්ත තත්වයට ඔබතුමන් පත්වූයේ, ඔබතුමාගේ ඓතිහාසික ජනවරමේ පූජනීය අභිලාෂ පිලිබඳව අල්ප මාත‍්‍රයක තරම් තැකීමක් නොකරන ඔබතුමාගේ පව්ලේ ඇතැම් සාමාජිකයින්ගේ සහ ඔබතුමන්ගේ සමීපතමයින්ගේ බලවත් තෙරපීම නිසා බව වටහාගැනීමට අපට අසීරු නැත. එකී දුෂ්ඨ තෙරපීම විසින් සිදුවූයේ ඔබතුමා කෙරෙහි අසීමිත විශ්වාසය තැබූ ජනතාව ඔබතුමා කෙරෙහි කලකිරවමින්, අතෘප්තියට පත්කරමින් සහ ඔබතුමාට එරෙහි ආස්ථානයකට කැඳවමින් මව්බිමට, ජනතාවට මෙන්ම ඔබතුමාටද හතුරු මාවතකට ඔබතුමා ඇද වැටීමය.

අතිගරු ජනාධිපතිතුමනි,

එම තත්වය තුල මේ වනවිට ආණ්ඩුවේ ඇතැම් නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් වූ ස්වාර්ථකාමී ඇතැම් නිලධාරීන් ද ඔබතුමාගේ පූජනීය ජන වරමට පිටුපාමින් කටයුතු කරන බව සහ ජනතා අපේක්ෂා ඉටු කිරීමට අසමත් වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. කෝවිඞ් වසංගත තත්වය නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග සහ අසමත්කම් සාධාරණීකරණය කළ නොහැක. උද්ගතවී ඇති තත්වය තුළ ජනවරමට ගරුකරන ආණ්ඩුවේ පාර්ශවකරුවන් ජනවරම වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ සඳහා ආණ්ඩුව තුළ අරගල කිරීම වැලැක්විය නොහැක. අප විසින් ඒ ආකාරයට ජනවරම නියෝජනය කිරීම ආණ්ඩුවට එරෙහිවීමක් ලෙස අර්ථ දැක්වීම බලවත් දේශපාලන වරදක් බව ඔබතුමා ඉතා කෙටි කාලයකින් තේරුම් ගනු ඇත.

සැබෑ ලෙසම ආණ්ඩුවක් ආරක්ෂා වන්නේ ජනවරම ආරක්ෂා කෙරෙන තරමට බව දේශපාලන පරම සත්‍යයකි. ඒ බව ඉතිහාසය විසින් නැවත නැවතත් ඔප්පු කර ඇත. එසේම ආණ්ඩුවක් ජනවරමට එරෙහි වන්නේ බාහිර සාධක වලට වඩා අභ්‍යන්තර කුමන්ත‍්‍රණ නිසා බව ද පැහැදිලි සත්‍යයකි. අප රටේ 1976 දී සහ 2014 දී සිදුවූ දේ සහ අද සිදු වෙමින් පවතින දේ අතර බොහෝ සමානකම් ඇති බව අනාගතයේදී ඔබතුමාට වැටහෙනු ඇත. ඒ ආකාරයට ඉතිහාසය තුල යම් සංසිද්ධීන් නැවත නැවත් සිදුවන්නේ නම් ඒය බොහෝ විට ප‍්‍රකාශයට පත්වන්නේ ඛේදවාචකයක් ලෙස හෝ ප‍්‍රහසනයක් ලෙසිනි. එම සත්‍යය මත පිහිටා ජනවරම ආරක්ෂා කිරීම මගින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම වරදක් ලෙස සලකා ආණ්ඩුවේ පාර්ශවකරුවන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම මගින් ජනවරම තවදුරටත් ඉතා බරපතල ලෙස උල්ලංඝණය කෙරෙන බව ඔබතුමා විසින් වටහා නොගැනීම ඉතා කණගාටුදායක තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි,

මෙවැනි තත්වයක් තුල හෘද සාක්ෂිය සහ ආත්ම ගරුත්වය මෙන්ම මහජන වගවීම ආරක්ෂා කර ගනිමින් ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක් දැරිය නොහැකි බව සඳහන් කළ යුතුය. ඊට අමතරව ආණ්ඩුවේ උපාය මාර්ගික තේරීම් හෙවත් ගමන නිවැරදි නොවන තත්වයක් යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරීම මගින් තනි පුද්ගලයකු ලෙස අදාල වැරදි නිවැරදි කළ නොහැකි බව ද අවධාරණය කළ යුතුය. ඒ අනුව අද දින ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔබතුමාට ඉතා කරුණාවෙන් දන්වා සිටිමි. නමුත් ආන්ඩුවේ ගමන නිවැරදි කිරීම මගින් ”මුළු රටම හරි මගට” ගැනීම සඳහා වන සමාජ වගකීම ආණ්ඩුව තුළ මෙන්ම මහජන වේදිකාව මත ද තවදුරටත් වඩා දිරිමත්ව සහ කැපවීමෙන් යුතුව ඉටුකරන බව ද දන්වා සිටිමි.

අවසාන වශයෙන් ඔබතුමා ජනාධිපතිවරයා ලෙස මුහුණ දෙමින් සිටින දේශපාලන අර්බුධය හමුවේ මා විසින් ගනු ලබන තීන්දුව මගින් සිදුවන අපහසුතාවයන් පිලිබඳව මාගේ කණගාටුව ප‍්‍රකාශ කරමි.

මව්බිමේත්, ජනතාවගේත් උස් නිදහස සහ අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම ප‍්‍රතිපත්තියකට හෝ ක‍්‍රියාමාර්ගයකට ඉත සිතින් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ලබන බවද මෙහිලා දන්වා සිටිමි.

ජයන්ත සමරවීර (පා.ම.)
ගුදම් පහසුකම්, බහාළුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ
බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

About The Author