Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇති දා පලු අරිනු ඇසේ : නැති දා ගුණ වයනු ඇසේ

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිම්න්තුවේදී

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.

ඔහු සමගින් පක්ෂව මෙන්ම විපක්ෂව මත වාද නියෝජනය කරමින් දේශපාලනයේ නිරත වූ සියලුම දේශපාලන පක්ෂවල ප්‍රධාන කථිකයින් රැසක් මෙහිදී අදහස් පළ කළා.

මංගල සමරවීර මහතා රාජපක්ෂ කඳවුර තුළ සිටිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට එරෙහිව මෙන්ම, එක්සත් ජාතික පක්ෂය තුළ හිඳිමින් රාජපක්ෂ කඳවුරට එරෙහිව විට විට දේශපාලන සටන් භූමිය උණුසුම් කළ දේශපාලන නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා.

කෙසේ වෙතත් මංගල සමරවීර මහතා සෘජු දේශපාලන ප්‍රතිපත්ති වල පිහිටමින් සමානාත්මතාව , සාධාරණය යුක්තිය සහ අව්‍යාජ දේශපාලන හැසිරීම අගය කළ කෘතහස්ත දේශපාලකයකු ලෙස ජාතික දේශපාලනය තුළ පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය තුළද ගෞරවාදරයට පාත්‍රව සිටියා.

පසුගිය අගෝස්තුවේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දැයෙන් සමුගත් මංගල සමරවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ යෝජනාවට එක්වෙමින් හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දේශපාලනයේ නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ සුවිශේෂී මිනිසෙකු ලෙස මංගල සමරවීර මහතා තමන් හඳුනාගත් බවයි.

2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මංගල සමරවීර මහතා තමන් වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී කාර්යභාරය ද සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා ජීවිත ගමන අවසන් වන තුරුම තමන්ට ආවේණික දේශපාලන ප්‍රතිපත්තිය සහ දර්ශනය වෙනුවෙන් පෙනීසිටි සුවිශේෂී දේශපාලන නායකයෙකු ලෙසද මංගල සමරවීර මහතා හඳුන්වා දුන්නා.

මංගල සමරවීර මහතා දේශපාලනය තුළ තමන්ට හමු වූ සුවිශේෂී ප්‍රතිවාදියෙකු බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය

මනුෂ්‍යත්වය පිළිබඳ කාරණයේ දී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක්

ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ දේශපාලනඥයෙකු ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා හඳුන්වා දෙන්න පුළුවන්.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් උසස් අධ්‍යාපන ආයතනයෙන් පළමු උපාධිය ලබා ගෙන 1983 දී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබුවා. 1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක ධූරයට පත් මංගල සමරවීර මහතා, 1989 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

එදා ඉඳන් ඔහු වසර 31ක් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා. ජීවිත ගමන අවසන් කරන තුරුම තමන්ට ම ආවේණික වූ දේශපාලන ප්‍රතිපත්තියක් වගේ ම දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන චරිතයක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්.

1989 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී කළ ඔහුගේ පළමු කථාවේ ඉඳන් 2020 පෙබරවාරි මාසයේ දී කළ අවසන් කථාව දක්වා කළ කථාවලින් එම දේශපාලන දර්ශනය මනාව පැහැදිලි වෙනවා.

1988/ 89 භීෂණ සමයේ දී පැවැති අවනීතිය සහ අසාධාරණයට එරෙහිව මංගල සමරවීර මහතා මව් පෙරමුණ නිර්මාණය කළා. මා එහි සම කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා.1977 සිට 1994 දක්වා පැවැති 17 වසරක මහජන පීඩාකාරී පාලනයට එරෙහිව, විශේෂයෙන් 88/ 89 භීෂණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මා මෙහෙය වූ අරගලවලට සහ පාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මංගල සමරවීර මහතා එදා කළ මෙහෙවර මා මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

ඒ මහතා 1994 වර්ෂයේ දී පළමු කැබිනට් අමාත්‍ය ධූරයට පත් වු දා සිට ම විවිධ රජයන්වල වගකිව යුතු අමාත්‍ය ධූර රැසක් හොබවනු ලැබුවා. තැපැල් හා විදුලි සංදේශ, නාගරික සංවර්ධන, වරාය හා ගුවන් සේවා, ජනමාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධූර දරමින් තමන්ට පැවරුණ විෂය පථයන් නව මාවතකින් ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා සෑම අවස්ථාවක ම උත්සාහ කළා.

සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ ඔහු දේශපාලනයේ දී නිර්මාණශීලී මිනිසෙක්. අභියෝග හමුවේ ද තම මතයෙන් බැහැරට නොගිය මංගල සමරවීර මහතා එම මතවාද වෙනුවෙන් නිරතුරු ව පෙනී සිටියා. පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළ ද මිය යන තුරුම මංගල මාගේ පෞද්ගලික මිතුරෙක් වුණා. මා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේ දී, මා වෙත විවිධ අභියෝග රැසක් පැමිණියා.

ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැප කිරීම මා මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඔහු දේශපාලන ජීවිතය පුද්ගලික ජීවිතයට ගාව ගත්තෙ නෑ. පාර්ලිමේන්තුවේ දරන දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් වු‍ණෙත් නෑ.

මංගල දැඩි විවේචකයෙක්. ඉතා ම තියුණු විදිහට තමන්ගේ ප්‍රතිවාදියා අපහසුතාවට පත් කරන්න සමත් ප්‍රචාරකයෙක් හැටියට මංගල කා අතරත් ප්‍රකටයි.

මංගල ලිබරල් මතවාදය දැරුවත් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළේ ඒ පළාතේ තිබුණ සංස්කෘතික පසුබිම පදනම් කර ගෙන බව අපි දන්නවා.ඇමති ධූර දැරූ සෑම අවස්ථාවක ම තමන්ගේ පාක්ෂිකයා වෙනුවෙන් විශේෂ කැප කිරීම් කරන්න ඔහු අමතක කළේ නෑ.

ඒ නිසා ම එතුමාගේ ආසනයේ සහ දිස්ත්‍රික්කයේ කීර්තිය හා ජනප්‍රියත්වය නොඅඩුව ඔහුට හිමි වුණා. මංගල දේශපාලනයෙන් ඉවත්වෙන කොට එතුමාගේ මරණයේ දී වගේ ම මම ගොඩක් කනගාටු වුණා. ඒකට හේතුව මංගල කියන්නේ දේශපාලනයේ සිටිය යුතු ම දේශපාලනඥයෙක් වීමයි.

තරඟ කළ යුතු, සටන් වැදිය හැකි ප්‍රතිවාදියෙක් වීමයි. දේශපාලනයෙන් සමුගන්නවා කිවුවහම මම කතා කරලා මංගලට කිවුවා, “මංගල තව දුරටත් ඔබ දේශපාලනයේ ඉන්න ඕනෙ” කියලා. ඒකට හේතුව මංගල වගේ ප්‍රතිවාදියෙක් මේ දේශපාලන ලෝකයට අවශ්‍ය වීමයි. ඔහු කොයිම වෙලාවකවත් දේශපාලනය පුද්ගලික ජීවිතයට ගාව ගෙන පලිගැනීම් කරන්න, වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්.

පාර්ලිමේන්තුවේ හෝ මහජන සභාවල අපි අතරේ තියෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් පැහැදිලිව විවේචනය කර ගන්න ඕනෙ. ඒවා තියුණු වෙන්නත් පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය පිළිබඳ කාරණාවල දී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක් නොවන බව මතක තියාගන්න.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපූර්ව චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ අභාවයෙන් සංවේගයට පත් එතුමාගේ වැඩිමහල් සොහොයුරිය වන ජයන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මාගේ සහ රජයේ ශෝකය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ස්තුතියි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද ශෝක ප්‍රකාශ යෝජනාවට අදහස් එක්කළා.

ඔහු සඳහන් කළේ මංගල සමරවීර මහතා ඕනෑම දේශපාලන කඳවුරකට මනා ශක්තියක් ලබා දිය හැකි සුවිශේෂී නායකයෙකු වූ බවයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහලින්..

ගරු කථානායකතුමනි,

පිය උරුමයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන් මඟට අවතීර්ණව, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 1989 වර්ෂයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය හිමිකර ගත් ලාබාලම අමාත්‍යවරයා වූ මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කර සිටිනවා.

එතුමාගේ පියා වූ මහානාම සමරවීර මැතිතුමා 1952 දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ද 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – මහජන එක්සත් පෙරමුණ රජයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වූ අතර, දිවංගත S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමන් යටතේ අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන ලදී. ඛේමා පද්මාවතී සමරවීර මැතිණිය එතුමාගේ ආදරණීය මෑණියන් වූ අතර, එතුමිය මාතර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් විය. එම දෙපළට දාව 1956 අප්‍රේල් මස 21වන දින මංගල සමරවීර මැතිතුමා ජන්ම ලාභය ලැබුවා.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබූ ගරු මංගල සමරවීර මැතිතුමා, ලන්ඩන් ශාන්ත මා(ර්)ටින් කලා පාසල තුළින් ඇඳුම් නිර්මාණ හා තාක්ෂණවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව කැළණිය විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කළා. එමෙන්ම රෙදිපිළි කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක ධූරයක් ද දැරුවා.

1980 දශකය අග භාගයේ උතුරු – නැගෙනහිර හා දකුණේ මිලිටරිකරණයට හා ජාතිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ “මව් පෙරමුණ” සංවිධානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සම කැඳවුම්කරු ලෙසත් සුදු නෙළුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා. ඉතිහාසයේ අඳුරු යුගයක ගිනි තබා විනාශ කරන ලද යාපනයේ මහජන පුස්තකාලය ගොඩනැංවීමේ අරමුණින් 1997 ‘පොතයි ගඩොලයි’ නම් වූ ව්‍යාපාරයට ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සමඟ එක්ව අමිල මෙහෙවරක එතුමා නිරත වුනා.

එතුමා 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළා.

එතුමා 1994 සිට 2019 දක්වා විවිධ අවස්ථාවල විවිධ විශය ක්ෂේත්‍රයන් හි අමාත්‍ය ධුර දැරූ මෙම ගරු සභාව නියෝජනය කරන ලද ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දෙන්නට පුලුවන්.

1994 වස‌ෙර් දී වරාය සහ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් සිදු කළා. ඔහු පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය බාර ගත්තා. ඒ වගේම මාධ්‍යයට සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම, නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයා ලෙස බේරේ වැව පිරිසිදු කර අලංකරණය කිරීම හරහා කොළඹ නගරය අලංකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රිචඩ් ද සොයිසා නිවාස සංකීර්ණය ඉදිකර ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදීම සහ ජනමාධ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම එතුමා අතින් සිදු වූ සේවාවන් අතර ඉදිරියෙන්ම දක්වන්නට පුළුවන්.

ඔහු 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ විදේශ අමාත්‍යවරයා මෙන්ම වරාය හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එසේම 2015 – 2019 ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙසත් පසුව මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

දේශපාලනඥයෙකුට තිබිය යුතු දේශපාලන ඉව සහ ජනමනස කියවීමේ හැකියාව අනූනව තිබූ දේශපාලන නායකයෙකු ලෙස මංගල සමරවීර මැතිතුමා අවිවාදයෙන් හඳුන්වාදෙන්නට පුළුවන්. ඔහු ලාංකික දේශපාලනයේ සිටි නිර්මාණාත්මකම සහ රජුන් තනන්නන් අතර ප්‍රමුඛයෙක්.

ඔහු දැරූ මතවාදයන් කිසිලෙසක වෙනස් නොකල දේශපාලනඥයෙක්. ඒ වගේම සමාජයේ සියළු පංති , ආගම් , වයස් , සියළු දේශපාලන කණ්ඩායම් සමග සමව සම්බන්ධතා පැවැත් වූ නායකයෙක්.

ලාංකික දේශපාලනයේ ඔහු දැරූ අමාත්‍ය ධුර සහ ඒවාගේ බලය සහ වගකීම බැලුවම එය දෙවැනි වෙන්නෙ ජනාධිපති ධුරයටත් අග්‍රාමාත්‍යධුරයටත් පමණයි. ඔහු කුමන දේශපාලන කඳවුරක් නියෝජනය කලත් සියළු දෙනා සමග කුළුපග මිත්‍රයෙකු ලෙස කටයුතු කළා.

විශේයෙන් 2005 වසරෙදි පැවැත් වූ ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් කළමණාකරුවා ලෙස කටයුතු කරමින් ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලා.

කොරෝනා රෝගය අපේ රටේ ජනතාව පීඩාවට පත්කරද්දි අපේ රටේ ජනතාවට එන්නත් ලබා දෙන්න ප්‍රමුඛතාව ලබාදෙන්න කියල එතුමා එක්සත් ජනපද ප්‍රධානීන්ගෙන් පෞද්ගලිකවම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට කටයුතු කළා.

වසර 30 කට අධික පාර්ලිමේන්තු දේශපාලනයෙන් 2019 වසරේ තරමක් ඈත් වුනු ඔහු සමාජ මාධ්‍ය ජාලයන් තුල ක්‍රියාකාරී වෙමින් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටියා.

ඔහු වැනි දේශපාලනඥයෙක් ඕනෑම දේශපාලන කඳවුරකට ශක්තියක්.
ගරු මංගල සමරවීර මැතිතුමා සිය දේශපාලන ගමන්මඟ තුළින් ජනතාව වෙනුවෙන් සිදුකළ විශාල සේවය, දේශපාලනමය වශයෙන් ඇගයීමකට ලක් කිරීම ජනතා නියෝජිතයන් වන අපගේ වගකීමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු තිහකුත් (30) මාස තුනකුත් (03) දින දහ අටක් (18) පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන ගමන් මඟේ නියැලෙමින් සමස්ත ශ්‍රී ලංකාද්වීපය තුළ ජනතාවට සුවිශාල සේවයක් සිදු කළ ගරු මංගල සමරවීර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

එසේම මෙම උත්තරීතර සභාවේ ශෝකය, එතුමාගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් වෙත දන්වා යවන ලෙසද මම මෙම අවස්ථාවේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
මහාමාර්ග අමාත්‍ය

මංගල සමරවීර මහතා සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මංගල සමරවීර මහතාගේ දේශපාලන භාවිතාව පිළිබඳ සංවේදීව අදහස් පළ කළා.

වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ තමා දැන සිටි මංගල සමරවීර මහතාට චරිත තුනක් තිබූ බවයි.

තම අරමුණු වෙනුවෙන් සහ ප්‍රතිපත්ති වෙනුවෙන් මංගල සමරවීර මහතා පෙනී සිටි ආකාරය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළා.

About The Author