ලොව පුරා ව්‍යාප්ත වී මිලියන ගණනකට මරණය ගෙන දුන් වසංගත රෝග පිළිබඳ කතා කරන විට පෙනී යන කරුණක් වන්නේ දඩයම් යුගයටත් වඩා වැඩි රෝග ව්‍යාප්තියක් කෘෂිකාර්මික යුගය ආරම්භ වූ පසු දක්නට ලැබෙන බව ය. විශේෂයෙන් වෙළෙඳ කටයුතු පුළුල් වීම හරහා ඕනෑ ම රෝගයක් දින කිහිපයක් තුළ ලොව පුරා පැතිරීමේ අවදානම වැඩි විය. එහිදී බලපෑ තවත් එක් කරුණක් වන්නේ කෘෂිකාර්මික හා කාර්මික යුගය තුළ දී මිනිසා සත්ත්ව ප්‍රජාව හා එක් ව කටයුතු කිරීමේ අවස්ථා බහුල වීම ය.
එදා මෙදා තුර ඇති වූ වසංගත රෝගවලින් වැඩි ප්‍රමාණයක් ආරම්භ වී ඇත්තේ චීනයෙනි. එයට හේතුව නිශ්චිත ව කිව නොහැකි වුව ද රට තුළ විශාල ජනගහණයක් ජීවත් වීම, විභව ජලාශ වන සත්ව විශේෂ රාශියක් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීම, සනීපාරක්ෂාව පිළිබඳ එතරම් තදින් කටයුතු නොකිරීම ආදිය සැලකිය හැකි ය. එලෙස පැතිරී ගොස් ජනගහණයෙන් මිලියන හතරකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ තවත් එක් වෛරසයකි, “හොංකොං උණ”.
1968 වර්ෂයේ චීනයේ හොංකොං නගරයෙන් ආරම්භ වූවක් යැයි සැලකෙන මෙම “එච්3එන්2” වසංගතය “ඉන්ෆ්ලුඑන්සා ඒ” ගණයට අයත් ය. මෙය, මින් පෙර එනම්, 1956 -1958 කාලයේ හට ගත් ආසියානු උණ වසංගතයේ දිගුවක් ලෙස සැලකිය හැකි ය. එහෙත් වෛද්‍යවරයින්ට තිබූ ගැටලුව වූයේ එම උණට වඩා මෙහි සංඝටක වෙනස් වීම ය. පෙර වෛරසයේ තිබූ ප්‍රතිදේහජනක මාරුවෙමින් හොංකොං උණ ගොඩනැඟුණු අතර, ජානමය ක්‍රියාවලිය හරහා විවිධ උප ප්රභේදවල ජාන ගොඩනැඟෙමින් නව වෛරසයක් සෑදුණු බව පෙනිණි. එහෙයින් ආසියානු උණ පිළිබඳ ඇති තරම් පර්යේෂණ සිදු කර තිබුණත්, නව වසංගතය පාලනය කර ගැනීමට වෛද්‍යවරු අපොහොසත් වූහ.
වසරේ ජුලි මස මැද භාගයේ දී ආරම්භ වූ “එච්3එන්2” වසංගතය, මාසය අවසන් වන විට වියට්නාමය හා සිංගප්පූරුව යටත් කර ගත්තේ ය. සැප්තැම්බර් වන විට එය ඕස්ට්‍රේලියාව, පිලිපීනය, ඉන්දියාව හරහා යුරෝපය දක්වා පැතිරිණි. වියට්නාම යුද්ධය අවසන් කොට නිවෙස් බලා ගිය සොල්දාදුවන්ගෙන් වසංගතය කැලිෆෝනියාව දක්වා ගමන් කළ ද දෙසැම්බර් මාසය වන තුරු ඇමරිකාව පුරා පැතිරුණු බවක් අසන්නට නොලැබේ. 1969 වසර ආරම්භ වන විට වෛරසය ජපානය, අප්‍රිකාව හා දකුණු ඇමරිකාව යටත් කර ගත් බව පෙනිණි.
වර්ග කිලෝමීටරයට ආසාදිතයින් 6,000ක් හමු වන තරමට වසංගතය වර්ධනය විය. එහෙත් මුල් යුගවල දී හට ගත් වසංගත රෝගවලට වඩා මෙහි මරණ ගණන අඩු බවක් පෙනෙන්නට තිබිණි. ඊට එක් හේතුවක් වූයේ ඒ වන විට ලෝක ජනගහණය තුළ සනීපාරක්ෂාව පිළිබඳ යම් තරමක දැනුමක් තිබීම ය. දෙ වන හේතුව නම් වෛරසය පළමුවරට ශරීරගත වී මාස හතරක් ගත වන විට ඒ සඳහා ප්‍රතිවෛරස එන්නතක් සොයා ගැනීමට සමත් වීම ය. තව ද, මෙයට වසර දහයකට පමණ පෙර ඇති වූ ආසියානු උණට ගොදුරු වී සුවය ලැබූවන්ගේ ශරීර තුළ හොංකොං උණ සඳහා ද ප්‍රතිශක්තියක් ගොඩ නැඟී තිබිණි.
පාලනය කළ නොහැකි තත්ත්වය වූයේ වෛරසය, එහි ස්වභාවය අනුව වරින් වර වෙනස්කම්වලට භාජනය වීම ය. හැරත් මිනිස් ශරීරය තුළ අදාළ රෝගකාරක විෂබීජයට එරෙහි ව නිපදවෙන ප්‍රතිදේහ සියල්ල ද කෙටි කාලීන විය. එබැවින් එන්නත ශරීරගත කළ ද, ස්වාභාවික ව ප්‍රතිදේහ ගොඩ නැඟුණ ද රෝගියා ඊට ප්‍රතිචාර දැක්වූයේ මද කලකට පමණි. එයින් ඔහු සුව වී නම් කම් නැත. එහෙත් සම්පූර්ණයෙන් සුව නොවී නම්, ටික කලකට පසු නැවත රෝගය වැළඳීමේ අවදානමක් තිබිණි. එවිට මුලින් ලබා දෙන ලද එන්නත නැවත ලබා දීමෙන් ප්‍රයෝජනයක් නොවීය. මන්දයත්, ඒ වන විට වෛරසයේ ස්වභාවය වෙනස් වී තිබෙන නිසාවෙන් නව එන්නතක් අත්හදා බැලීමට සිදු වී තිබීම හේතුවෙනි.
යුරෝපයට නම් මෙහි පළමු රැල්ල දෙවන රැල්ලට වඩා බලවත් ව දැනුණු අතර, ආසියාවට වඩාත් දරුණු ලෙස බලපෑවේ පළමු රැල්ල නොව දෙවැන්නයි. එහෙයින් කොවිඩ් 19 වසංගතය හා හොංකොං උණ වසංගතය අතර සමානතා තිබුණ ද, අනාගතයේ දී කුමක් වනු ඇත්දැයි යන්න නිගමනය කිරීම තවමත් අසීරු ය.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්