Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවේ නැඟීම හා පුටින්.

පසුගිය වසරේ රුසියාවේ ජාතික දින උත්සවය පැවැති බටහිර මොස්කව්හි, වික්ටරි උද්‍යානයේ දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මෙම වසරේ ජුලි මස පළමුවන දින පැවැත්වීමට නියමිත ජනමත විචාරණය පිළිබඳ විස්තර කළේ ය. එහි දී ඔහු ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කිරීම සඳහා ගන්නා වූ එම වෑයමට ජනතාව සහය දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව යි. සිතා සිටින පරිදි ජනතා තීරණය ලැබුණහොත් 2024 වසරෙන් අවසන් වීමට නියමිත පුටින්ගේ ධූර කාලය, 2036 දක්වා දීර්ඝ වනු ඇත.

රුසියාවේ ජාතික දිනය ලෙස සැලකෙනුයේ වසර 1990 දී ඔවුන් සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන් වී, රුසියානු ජනරජය වශයෙන් ස්වාධීන වූ දිනය යි. මුල් ම අවධියේ සාර් පාලනයට නතු ව තිබුණ ද, ඊට එරෙහි ව හඬ නඟා, “බොල්ෂෙවික්” හා “මෙන්ෂෙවික්” පක්ෂ දෙකින් “බොල්ෂෙවික්” ජය ගත් පසු සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිහි විය. බලයට පත් යුධ විශාරද “ස්ටාර්ලින්’ සිය මතය සමාජවාදය ලෙස සලකා ජනතාවට හිරිහැර කළේ ය. දෙ වන ලෝක යුද්ධයේ දී රුසියාව මිත්‍ර හමුදාවක් ලෙස “හිට්ලර්” හා සටන් කොට ජය ගත් අතර, කෙදිනක හෝ ඇමරිකාවෙන් තමන්ට පහර එල්ල වනු ඇතැයි සිතා අවි ආයුධ නිපදවීමට පටන් ගත්හ. මෙය අවසන් වූයේ න්‍යෂ්ටික අවි පවා අත්හදා බැලීමෙනි. 1990 දී බලයට පත් “මිහයීල් ගොර්බචොව්”, පෙර නායකයින් විසින් යටත් කරගෙන තිබූ සියලු රටවලට නිදහස ලබා දුන් පසු රුසියාව බිඳ වැටිණි. එහෙත් මඳින් මඳ රට ගොඩ නඟා ගැනීමට ඔවුහු සමත් වූහ. එලෙස ජාතික දිනයක් ප්‍රකාශයට පත් කොට, එය සැමරීම ආරම්භ වූයේ 1992 වසරේ සිට ය.

පුටින් බලවත් වීම.

මේ වන විට ලොව බලවත්කමෙන් පමණක් නොව ධනවත්කමෙන් ද ඉහළින් සිටින රටක් වන රුසියාවේ නොමැති දෙයක් නැත. ලොව විශාලතම රට වන මෙහි ඇති ඛණිජ තෙල් හා බලශක්ති සංචිතයන් ද අතිමහත් ය. විශාලතම වනාන්තර සංචිතය ද ඔවුන් සතු ය. 

එවැනි සශ්‍රීක රටක ජනාධිපතිවරයා වන “ව්ලැඩ්මීර් පුටින්’ දේශපාලනයට පිවිසියේ 1991 දී ය. ඊට පෙර ඔහු “කේ.ජී.බී.” සංවිධානයේ එනම්, සෝවියට් ඔත්තු සේවයේ ලුතිනන් කර්නල්වරයෙකි. හදිසියේ සංවිධානයෙන් ඉවත් වීමට හේතු වූයේ සෝවියට් සමූහාණ්ඩුව හා එහි ජනාධිපති වූ “මිහයීල් ගොර්බචොව්”ට එරෙහි ව දියත් වූ කුමන්ත්‍රණය යි. සෝවියට් දේශයේ බිඳ වැටීමට දින දෙකකට පෙර ඔහු ඉල්ලා අස් විය. පුටින් පවසන්නේ,

 “කුමන්ත්‍රණය පටන් ගත්තට පස්සෙ යන්න ඕනෙ මොන පැතතට ද කියලා මට තීරණය කරන්න වුණා. ජනාධිපතිට විරුද්ධ වෙන්න නම් කේ.ජී.බී.ය අත්හරින්න වෙනවා. අවුරුදු ගාණක් මගේ ජීවිතේ වුණ සංවිධානය අත්හරින්න මට බැරි වුණා”. යනුවෙනි. 

නීතිවේදියෙකු වන පුටින්, ජූඩෝ සහ සම්බෝ යන ආත්මාරක්ෂක සටන් කලාවන්හි කළුපටිධාරියෙකු ද වෙයි. ඔහු සිය රැකියා ජීවිතයෙන් වැඩි කලක් ගත කළේ ජර්මනියේ ය. එබැවින් මනා ලෙස ජර්මන් බස හැසිර⁣වීමේ දක්ෂයෙකු ද වෙයි. 

1996 දී පුටින්, රුසියානු ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ “බොරිස් යෙල්ට්සින්” සමඟ සම්බන්ධ විය. 1998 දී “කේ.ජී.බී.” සංවිධානය වෙනුවට දියත් වූ “එෆ්.එස්.බී.” ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ඔහු පත් කරනු ලැබිණි. පසුව අගමැති ලෙස නම් කෙරුණු ඔහු, බොරිස්ගේ අසනීප තත්ත්වයත් සමඟ 1999 දී වැඩ බලන ජනාධිපති බවට පත් විය. එදින සිට නිළ ජනාධිපතිවරණය තෙක් කාලය තුළ දී විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට එනම්, “චෙච්නියාව” ජය ගැනීමට සමත් විය. නායකයින්ගේ අදූරදර්ශි ක්‍රියාකලාපය හා රජයේ අස්ථාවරභාවය හේතුවෙන් කලක් තිස්සේ ඇදි ඇදී ආ චෙච්නියාවේ යුද්ධය, සෙමෙන් වුවත් ඉතා සාර්ථක අන්දමින් මාස කිහිපයකින් ම අවසන් කර දැමීමට ඔහු සමත් වූයේ හරි හැටි නීතිමය අයිතියක් ද නොතිබියෙ දී ය. අනතුරු ව 2000 වසරේ  දී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් 53.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැඩ්මීර් පුටින් ජයග්‍රහණය කළේ ය. 

ඔහු සිය අගමැතිවරයා ලෙස තෝරා ගත්තේ “දිමිත්‍රි මෙද්වදේව්” ය. ඊළඟ වසර හතර තුළ රුසියාවේ ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය විය. මෙතුවක් නියම ආකාරයේ ජාතික ගීයක් නොතිබුණු රුසියානු ජනරජයට නිළ ජාතික ගීයක් ද තැනුණේ ඔහුගේ මැදිහත්වීමෙනි. ජනතාව ඔහුට කෙතරම් කැමැති වූවාද කියතොත්, කිසිදු අපහසුවකින් තොර ව 72%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් 2004 ජනාධිපතිවරණය ද ජය ගැනීමට හැකි විය. එහි දී ද ඔහුගේ අගමැතිවරයා වූයේ දිමිත්‍රි ය. රුසියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එක ම පුද්ගලයෙකුට පිට පිට තෙවරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් තමා ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමේ ආශාවකින් පෙළුණු පුටින්, 2008 මැතිවරණය සඳහා සිය සගයා වූ දිමිත්‍රි ඉදිරිපත් කළේ ය. ඔහු ද ජයග්‍රහණය ලැබූ අතර දිමිත්‍රිගේ ආණ්ඩුවේ අගමැතිවරයා බවට පත් කෙරුණේ පුටින් ය. බොහෝ පිරිස් පැවසුවේ එම වසර හතර තුළත් සැබෑ ජනාධිපතිවරයා පුටින් ම වූ බව ය. දිමිත්‍රි නාමික ව පමණක් සිටියේ ය.

2011 දී දිමිත්‍රි – පුටින් එක් ව ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය වසර හතරේ සිට හය දක්වා දීර්ඝ කළහ. 2012 දී පුටින් නැවත ඡන්ද අපේක්ෂකයෙකු බවට පත් වූ අතර, එහි දී ද ඔහු 64%කින් ජය ගත්තේ ය. මේ වන විට රටවැසියන්ගේ ආර්ථික තත්ත්වය මහත් සහනදායී එකක් බවට පත් ව තිබූ අතර ඔහු රුසියාවේ “ජී.ඩී.පී” අගය 70%කින් පමණ ඉහළ නංවා තිබිණි. ඒ සියල්ල හේතුකොට ගෙන 2018 ජනාධිපතිවරණයෙන් 76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය ගැනීමට පුටින්ට හැකි විය. එහි දී නැවතත් අගමැති තනතුරට පත් වූයේ දිමිත්‍රි ය. කෙටියෙන් කිවහොත් රුසියාවේ ජනපති – අගමැති මාරු වූයේ මෙසේ ය. බොරිස් – පුටින්, පුටින් – දිමිත්‍රි, පුටින් – දිමිත්‍රි, දිමිත්‍රි – පුටින්, පුටින් – දිමිත්‍රි හා නැවතත් පුටින් – දිමිත්‍රි. 

කෙසේ වුවත් 2020 වසරේ මුල් භාගයේ දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් දිමිත්‍රි මෙද්වදේව් ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ අතර ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කළේ පුටින්ගේ අනාගත අපේක්ෂාවන්ට පහසුව සැලසීම පිණිස එසේ කරන බව යි. මේ වන විට රුසියාවේ අගමැති තනතුර දරන්නේ පුටින්ගේ තවත් සමීපතමයෙකු වන, ෆෙඩරල් බදු අය කිරීමේ සේවයේ අධ්‍යක්ෂ ව කටයුතු කළ “මිඛායල් මිෂුස්ටීන්” ය.

රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී ද?

දෙවරක් ජනාධිපති තනතුර දැරූ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා, තෙවන වර ඡන්ද සටනින් ඉවත් වද්දී ඔහුගේ හිතවතුන් පවසා තිබුණේ තවදුරටත් ඔහු ශක්තිමත් බැවින් නැවත ඉදිරිපත් වන ලෙස ය. එහෙත්, ජේ.ආර්. මහතා, 

” දෙපාරක් ම බලයට ඇවිල්ලත් රට හදා ගන්න බැරි වුණ මට, තුන් වෙනි පාරටත් ඡන්දෙ දෙන මෝඩයෝ මේ රටේ නෑ.” යනුවෙන් පැවසුවේ ලු. එසේ නම් රුසියාවේ සිටින්නේ මෝඩයින් ද? 

නැත. මෙය වූ කලි කුමන අන්දමේ බල පෙරළියක්දැයි සිතා ගැනීමට අසීරු ය. අප රටෙහි ඔවැනි අන්දමේ තට්ටු මාරු ක්‍රමයකට දෙදෙනෙකු අතර ⁣බලය හුවමාරු වූයේ නම්, මේ වන විට රට විනාශ වී හමාර ය. ජනතාව ද නියත වශයෙන් ම වීදි බසිනු ඇත. ජාත්‍යන්තරයේ බලපෑම ද එල්ල වනු ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම පිළිබඳ  ලෝක අධිකරණයට ද කරුණු දැක්වීමට සිදු වනු ඇත. එහෙත් රුසියාවේ මේ කිසිවක් සිදු වන බවක් දක්නට නොලැබේ. බහුතරයක් ජනතාව ද ඉතා ප්‍රීතියෙන් නායකයාට අවනත වන බව පෙනේ. වැඩි දෙනෙකු දන්නා පරිදි ව්ලැඩ්මීර් පුටින් යනු තද නීතිකාරයෙකි. එහෙත් ජනතාවට එයින් හිත් වේදනාවක් දැනී ඇති බව⁣ට සාක්ෂි නැත. හැරත්, තද නීති සහිත රටක් නම් එහි දැඩි විනයක් ද පවතින බව සම්මතය යි. එසේ නම්, තට්ටු මාරු බල අරගලය අවසානයේ දී බිහි කර තිබෙන්නේ ආර්ථික අතින් ⁣ශක්තිමත් මෙන් ම විනය අතින් ද ඉදිරියෙන් සිටින ජනතාවක් නොවේ ද?

මෙසේ සිදු වීමට හේතුව කුමක්දැයි සොයා බැලීමේ දී පෙනී යන එක් කරුණක් වන්නේ අනෙක් බොහෝ රටවල දේශපාලනඥයින් මෙන් නොව ව්ලැඩ්මීර් පුටින්ගේ අරමුණ වෙනස් එකක් බව ය. ඔහුට රටෙහි සල්ලි ගරා ගැනීමේ කිසිදු වුවමනාවක් ඇති බවක් නොපෙනේ. 2018 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 200 ඉක්මවන බව යි. පුටින් යනු ධනවතෙකි. එසේ ම ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පියා පොහොසත් වූයේ කොමිස් ගසා නොව කලකට පෙර රජයේ ආයතන පෞද්ගලීකරණය කරද්දී මිළට ගත් ආයතන කිහිපයක ආයෝජන කිරීමෙනි. පුටින් යුධ විරුවෙකි. ඔහුගේ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්දැයි කිසිවෙකු නොදන්නා නමුදු, රටෙහි ජනතාව පුටින් තවදුරටත් නායකත්වයේ සිටිනවාට කැමැති වග පෙනේ. මේ වන විට බ්‍රසීලයේ, කැනඩාවේ, නෙදර්ලන්තයේ පමණක් නොව මහා බලවතා යැයි පවසා ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ පවා ප්‍රධාන තනතුර දරන්නන් ක්‍රමයෙන් අපකීර්තියට පත් වෙමින් සිටියෙ දී පුටින්ගේ ලකුණු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතී. ලෝ වැසියන් පවා ඔහුට කැමැති ය. පුටින් ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනාගෙන තිබෙන්නේ ඔහුගේ ස්ථිර ප්‍රතිපත්ති සහ කොවිඩ් 19 වසංගතය අවස්ථාවේ ඔහු ක්‍රියා කරන ආකාරයත් සමඟ ය. තම රටෙහි කෙතරම් රෝගීන් ප්‍රමාණයක් හමු වුව ද, අන් රටවල දස දහස් ගණන් මිය යද්දී රුසියාවේ මරණ ගණන හයදහසකි. එය සාපේක්ෂ ව අඩු අගයකි. ඔහු ආධාර අවැසි සියලු රටවලට උපකාර කිරීමට පැකිළෙන්නේ නැත. විශේෂයෙන් ම ඇමරිකාවේ කොන් කිරීමට හසුව සිටින රාජ්‍යයන්ට පුටින් දක්වන අනුග්‍රහය ප්‍රශංසාත්මක ය.

එක් අතකින් බලන විට රටෙහි නායකයා කවරෙකු වුවත් ජනතාවගේ සාක්කු හිස් නොවේ නම්, නීතිය කෙතරම් තද වුවත් මර්දනකාරී නොවේ නම්, කතා කිරීමට, සීතීමට හෝ ඕනෑම ආගමක් ඇදහීමට නිදහස තිබේ නම් තවත් ඕනෑ වන්නේ කුමක්ද? 

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author