Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිරියේ මහල්ලා.

නොපසුබට වීර්යය හා දැඩි අධිෂ්ඨානය හේතුවෙන් දිගු ගමනක් යාමට හැකියාව ලද පුද්ගලයෙකු වශයෙන් හැඳින්විය හැකි යමෙකු වේ ද, ඒ ඉන්දියානු ජාතික ශ්‍රී දදාභායී නෞරෝජි දෝඩි ය. ඉන්දියාවේ නිළ නොවන තානාපතිවරයා ලෙස හැඳින්වෙන මොහු බ්‍රිතාන්‍ය ජාතිකයින් අතර ප්‍රසිද්ධියට පත් ව තිබෙන්නේ “මහා ඉන්දියානු මහල්ලා” යනුවෙනි. 1947 අගෝස්තු 15වන දින ඉන්දියානුවන් ලද නිදහසට මහත්මා ගාන්ධි තරමට ම පුරෝගාමියෙකු වීමට නෞරෝජි හට ද හැකි විය.

1835 වසරේ බොම්බාය නගරයේ දී සාමාන්‍ය දුප්පත් පවුලක උපත ලද නෞරෝජි, රජයේ පාසලක අධ්‍යාපනය ලැබූවෙකි. එහෙයින් එම මුළු කාලය පුරාවට රටේ ජනතාව තමන් වෙනුවෙන් වැය කළ බදු මුදලෙහි ණය නැවත ගෙවීමට ඇති සුදුසු ම ක්‍රමය ලෙස ඔහු දුටුවේ රාජ්‍ය සේවයට බැඳීම යි. කුඩා කල සිට ම ප්‍රගතිශීලී අදහස් දැරූවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ ඔහු තරුණ වියේ දී “ජාතික ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය” ගොඩනැඟීමට දායක විය. එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තෙවරක් මහ මැතිවරණයට තරඟ කළ ඔහු, තුන් වන වතාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

ලොව පුරා ගිය නෞරෝජි

ජනතා නියෝජිතයෙකු වශයෙන් නෞරෝජි ගත් එක් ප්‍රධාන පියවරක් වූයේ කාන්තාවන් සඳහා පාසල් ආරම්භ කිරීම යි. මෙය ඇතැම් ආගමික නිකායයන්හි දෝෂදර්ශනයට ලක් වුවත් එයින් සැලුණේ නෞරෝජි නොවේ. ඔහුගේ අදහස වූයේ “පුරුෂයාට මෙන් ම මෙලොව සියලු අයිතිවාසිකම්, වරප්‍රසාද සහ යුතුකම් ඉටු කිරීමට හා භුක්ති විඳීමට කාන්තාවට ඇති අයිතිය ඉන්දියානුවන්, කවදා හෝ තේරුම් ගනු ඇත” යන්න යි. වසර පහක් ගත වන විට මොහුගේ තීරණය හදවතින් ම වැළඳගත්තවුන්ගෙන් බාලිකා පාසල් සියල්ල පිරී ගියේ ය.

හැකි තරම් රට පුරා ඇවිද බැලීමට කැමැත්තක් දැක් වූ හෙයින් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොදකින ස්ථාන බොහොමයක් අධ්‍යයනය කිරීමට ඔහුට හැකි විය. මද කලකින් ම ඔහු එළඹුණු නිගමනය වූයේ ඉන්දියානුවන් එවකට මුහුණ දුන් දරිද්‍රතාවට මූලික හේතුව වන්නේ යටත්විජිතවාදය බව යි. 1855 දී මෙම කරුණ ද සිත යට තබාගෙන නෞරෝජි මහා බ්‍රිතාන්‍යයේ සිය පළමු සංචාරය සිදු කළේය. එහි දී තමා දුටු ධනය හා සමෘද්ධිය ගැන ඔහු මුළුමනින්ම මවිතයට පත් වූ අතර, තම රට මෙතරම් දුගීභාවයට පත්වීමට හේතුව ගැන මෙනෙහි කිරීමට පටන් ගත්තේය. මේ අනුව දශක දෙකක යටත්විජිත මාවත බිඳ දැමීමේ ආර්ථික විශ්ලේෂණයක් ආරම්භ කෙරුණු අතර, නෞරෝජි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අතිශය පාරිශුද්ධ විශ්වාසයන්ගෙන් එකක් අභියෝගයට ලක් කළේය. එනම්, “අධිරාජ්‍යවාදය යටත් විජිත යටත්වැසියන්ට සමෘද්ධිය ගෙන එයි” යන අදහසයි.

නෞරෝජිගේ සහයට සිටියේ අයර්ලන්ත – ඉන්දියානු සම්භවයක් තිබූ ජාතිකවාදියෙකු වූ ඇනී බෙසන්ට් ය. බ්‍රිතාන්‍ය පාලනය යනු ඉන්දියාවට ලේ හැලීම හා මාරාන්තික වසංගතයක් පමණක් සිහි ගන්වන ක්‍රියාවලියක් මිස සමෘද්ධිමත්භාවයට කිසිදු සම්බන්ධයක් නොමැති සංකල්පයක් බව ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ කළේ ය. ප්‍රසිද්ධියේ තර්ක කරමින් නෞරෝජි පැවසුවේ බ්‍රිතාන්‍යයන් යනු මානව ද්‍රෝහීන් පමණක් ම වන බව යි. යටත්විජිතයකින් පැමිණි කළු ජාතිකයෙකුට එවන් ප්‍රකාශ සිදු කරමින් අධිරාජ්‍යවාදීන් කෝපගැන්විය හැකි යැයි විශ්වාස කිරීමට පවා අපහසු විය.

යටත්විජිතවාදය නිසා ඉන්දියාවේ ධනය හිස් වන ක්‍රමවේදය පිළිබඳ මූලික කරුණු හයක් ඔහු සතුව තිබිණි. පළමුව, ඉන්දියාව පාලනය කරනු ලබන්නේ විදේශීය රජයක් විසිනි. දෙවනුව, ආර්ථික වර්ධනය සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය ගෙන එන සංක්‍රමණිකයෝ ඉන්දියාවට ආකර්ෂණය නොවෙති. තෙවනුව, ඉන්දියාව බ්‍රිතාන්‍යයේ සිවිල් පරිපාලනය සහ වෘත්තීය හමුදාව සඳහා මුදල් ගෙවයි.  සිව්වනුව, ඉන්දියාව සිය දේශසීමා තුළ සහ ඉන් පිටත අධිරාජ්‍ය ගොඩනැගීමේ බර දරයි.  පස්වනුව, නිදහස් වෙළෙඳාම සඳහා රට විවෘත කිරීමෙන් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ විදේශීය සේවකයින්ට ඉහළ වැටුප් සහිත රැකියා ලබා දීමෙන් ඉන්දියාව සූරාකෑමට ලක් වීම යි.  අවසාන වශයෙන්, ප්‍රධාන ආදායම් උපයන්නන් ඉන්දියාවෙන් පිටත දී මුදල් ආයෝජනය කිරීම හා ඔවුන් බොහෝ දුරට විදේශිකයන් වන බැවින් මුදල් සමඟ එරටින් පිටව යාම යි.

නොපසුබට ව පාර්ලිමේන්තුවට

කිසිවක් තමාට අවශ්‍ය ආකාරයට සිදු නොවන බව තේරුම් ගිය පසු ඔහු තීරණය කළේ යටත්විජිතයකට අයත් මහජන නියෝජිතයෙකු වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ය. ඒ සඳහා මහ මැතිවරණයේ දී තරඟ කළ ද, විය යුතු පරිදි ම ඔහු අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය. ඒ 1886 දී ය. එහෙත් නෞරෝජි උත්සාහය අත්හැරියේ නැත.  ඊළඟ වසර කිහිපය තුළ ඔහු ඉන්දියානු ජාතිකවාදය සහ බ්‍රිතාන්‍යයේ ප්‍රගතිශීලී ව්‍යාපාර රාශියක් අතර සන්ධාන ඇති කර ගත්තේය.  කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් හඬක් නැගීමට ඔහුට හැකි වූ අතර, ඉන්දියාවේ දී මෙන් ජනතාවගේ සිත් සෙමෙන් සෙමෙන් වෙනත් මාවතකට හැරවීමට සමත් විය. ඔහු ශ්‍රමය හා සමාජවාදය සමඟ පෙළගැසී, ධනවාදය විවේචනය කරමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. 1892 දී ඔහු අයර්ලන්තය ජය ගත් අතර, එම ප්‍රදේශය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එහෙත් නෞරෝජි හට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වීම පහසු වූයේ නැත. සුදු ජාතිකයින් ගොන්නක් මධ්‍යයේ හුන් කළු ජාතික නෞරෝජි, ලෙහෙසියෙන් ම අවඥාවට ලක් විය. ඔහු එතැන සභිකයෙකු වන බව කිසිවෙකුටත් මතක නොතිබුණු අතර, කතා කිරීමට උත්සාහ ගත් සෑම අවස්ථාවක දී ම විරෝධතාවලට මුහුණ දීමට සිදු විය. එහෙත් දැඩි උත්සාහයකින් පසු ස්ත්‍රීන්ගේ  ඡන්ද අයිතිය සේ ම කම්කරුවන් හට පැය අටක සේවා මුරයක් ලැබෙන ලෙස ඉන්දියාවට හදිසි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව බ්‍රිතාන්‍යයන්ගේ පුළුල් පරාසයකට ඒත්තු ගැන්වීමට ඔහු සමත් විය. එම සම්පූර්ණ කාලය පුරා ඔහුට සහයෝගය දක්වමින් ඉන්දියානු කම්කරුවන්ගෙන්, වෘත්තීය සමිති නායකයින්ගෙන්, කෘෂිකාර්මිකයින්ගෙන්, ස්ත්‍රීවාදීන්ගෙන් මෙන් ම පූජකවරුන්ගෙන් ද ලිපි ලැබුණි. 1895 දී ඔහු නැවත තේරී පත් වූයේ වැඩිමනක් ස්ත්‍රීන්ගේ හා කම්කරුවන්ගේ ඡන්දවලිනි. 

1890 -1900 අතර කාලයේ පිට පිට පැමිණි වසංගත හේතුවෙන් බොහෝ යටත්විජිත වැසියන් මරණයට පත් වූ බව දුටු බ්‍රිතාන්‍යය, ඔවුන් මෙතුවක් ගෙන ගිය යටත්විජිතකරණයේ අවසානයට පැමිණ ඇති බව වටහා ගත්හ. නෞරෝජි ද කම්කරුවන්, ඇමරිකානු අධිරාජ්‍ය විරෝධීන්, අප්‍රිකානු-ඇමරිකානුවන් සහ කළු බ්‍රිතාන්‍ය ක්‍රියාකාරීන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සිය ස්ථානය රැකගැනීමට සමත් විය. ටිකෙන් ටික ඉන්දියාවට ස්වපාලනයක් අවශ්‍ය බව ඔහු පාර්ලිමේන්තුවට ඒත්තු ගැන්වීය.

වයස අවුරුදු 81 දී ඔහු සිය අවසන් කතාව පැවැත්වූ අතර, එහි දී සිය උත්සාහයන් තවමත් ව්‍යර්ථ වී තිබීම කෙරෙහි කළකිරීමෙන් සිටි බව පෙනේ. 1917 ජුනි මස 30 වන දින නෞරෝජි මරණය වැළඳගත්තේ ඉන්දියානුවන්ට නිදහසේ ජීවත් වීමට තව වසර පණහක්වත් ගත වනු ඇතැයි සිත සිතා දුක් වෙමිනි. එහෙත්, ඉන් වසර තිහකට පසු බ්‍රිතාන්‍යය ඔවුන් සිය ග්‍රහණයෙන් නිදහස් කළේ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author