Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාව තෙලෙන් බැදෙයි : නින්ද ගිහින් ඇහැරෙන කොට තෙල් මිල අහස අල්ලලා : ඉන්ධන හිඟයක ලකුණු : තෙල් පිරිපහදුවත් වැසේ

මෙතෙක් ලංකාවේ වැඩිම තෙල් මිල වාර්තා වෙයි

රජය විසින් ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව රුපියල් 157 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 ක් ඉහළ යනු ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 177 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ යන අතර නව මිල සදහන් වන්නේ රුපියල් 207 ලෙසිණි.

මෙම මිල වැඩිවීමත් සමඟ රුපියල් 111 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. එහි නව මිල වන්නේ රුපිියල් 121 ක්.

මෙතෙක් රුපියල් 144 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 15 කින් ඉහළ යනු ඇත. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159 ක් ලෙස සටහන් වනවා.

භූමිතෙල් මිලද මේ සමඟ වැඩිවී තිබෙනවා.

රුපියල් 77 ක්ව පැවති භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87 ක්.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක් නැතත් ණයට බොරතෙල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව කී ඇමතිවරයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඉන්ධන වර්ගය ලබාගැනීමට දින 90කට පෙර ඉල්ලුම් කළ යුතු බවත්, විකල්ප තෙල් වර්ග ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවත් සඳහන් කර තිබෙනවා.

එසේ ලබාගැනීමට නොහැකි වුවහොත් ජනවාරි 3 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 20 ක කාලයක් පිරිපහදුව වසාදමන්නට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම කෙසේ වෙතත් ජනවාරි 23 සිට අඛණ්ඩ බොර තෙල් ලැබීමක් සහතික වී තිබෙන නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ මෙතෙක් අවදානමක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළා.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ කොළඹ දී පසුගියදා (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් කෝටි 36 ක් පමණ අවශ්‍ය බව කී ගම්මන්පිල මහතා ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සොයාගැනීමේ අභියෝගය මේ වන විට උච්ඡතම ස්ථානයට පැමිණ ඇතැයි ද සඳහන් කළා.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් අපට රුපියල් බිලියන 96ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 65ක් පමණ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි කී ඇමතිවරයා ඩොලර් සොයාදෙන ලෙස එම සමාගම් දෙකටම දැනුම් දී තිබෙන බව ද කීවේය.

ඔවුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමතිවරයා පැවසුවා.

ඉන්ධන මිල වැඩිකරන ලෙස මහබැංකුව මුදල් ඇමතිවරයාට දැනුම්දීමක් කර ඇතැයි ද කී ඇමතිවරයා ඒ අනුව මිල ගණන් ඉහල යන බවද පෙන්වා දුන්නා.

එමෙන්ම ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට ජනතාව ක්‍රියා කළ යුතු බවද පෙන්වා දුන් ගම්මන්පිල මහතා එසේ නොකළොත් බරපතල විදේශ විනිමය අර්බුදයකට රට තල්ලු වන බව ද සඳහන් කළා.

කෙසේ වෙතත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල නම් සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

About The Author