Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාඨලී තනිවම උතුරේ සංචාරයක : විපක්ෂයේ දේශපාලන තැටිය රත්වෙයි

බලය බෙදීම පිළිබඳ ස්ථාවරය කියයි : 43 වන සේනාංකය ගැනත් පැහැදිලි කරයි

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යාපනය ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වී ඇති බව වාර්තා වනවා.

මෙම සංචාරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයින් කිසිවකු සහභාගි කරවාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද (04) පෙරවරුවේ යාපනය ඔහු සිය යාපනය සංචාරය ආරම්භ කර ඇති අතර හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ද ඔහු සමග එම සංචාරයට එක්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව යාපනයේ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද පාඨලී චම්පික රණවක මහතා සමඟය සංචාරය කිරීම සඳහා එක්ව තිබෙනවා.

යාපනයේ පොදු වෙළදපොල වෙත ගොස් එහි ජනතාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති චම්පික රණවක මහතා අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනකට ද සහභාගී වී තිබෙනවා.

යාපනය නගරය උපායමාර්ගිකව සංවර්ධනය කිරීමේ යහපාලන වැඩ පිළිවෙල වත්මන් ආණ්ඩුව විසින් ප්‍රයෝජන නොගෙන ම අත්හැර දමලා

යහපාලන සමයේ යාපනය නගරයේ උපායමාර්ගිකව සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය සිදුකරන ලද සංවර්ධන වැඩසටහන් බොහොමයක් වත්මන් රජය යටතේ අකර්මණ්‍ය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර පාඨලී චම්පික රණවක මහතා සිය සංචාරයේදී එම ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ද එක්වුණා.

යහපාලන සමයේ ඉදිකරන ලද යාපනය බස් නැවතුම් පොළ නිරීක්ෂණය කිරීමට සහභාගී වූ පාඨලී චම්පික රණවක මහතාට ජනතාව විසින් පෙන්වා දුන්නේ අදාල බස් නැවතුම මගින් මේ වන විට නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි.

මෙහි දී අදහස් දැක් වූ චම්පික රණවක මහතා සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 වසරේදී එම බස් නැවතුම්පළ විවෘත කරනු ලැබුවේ පැරණි බස් නැවතුම්පොළ සමගද සම්බන්ධ කරමින් වඩාත් වැඩි සේවාවක් යාපනයේ ජනතාවට ලබාදීම අරමුණු කරගනිමින් බවයි.

කෙසේ වෙතත් විවිධ දේශපාලන අරමුණු දඩමීමා කර ගනිමින් මෙම බස් නැවතුම්පොළ මගින් නිසි ප්‍රයෝජන ලබා නොගැනීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

දුර ගමන් සේවා බස් රථ නතර කිරීම සඳහා සකස් කරන ලද අංගනය සහ ඒ සමග ඉදිකර ඇති වෙළඳ සංකීර්ණය ද නිසි ප්‍රයෝජනයක් ලබානොගෙන වසා දමා ඇති බව මෙහිදී හෙළි වුණා.

රුපියල් මීලියන ගණනක් වැය කරමින් ඉදිකළ යාපනය බස් නැවතුම්පල වසර දෙකකට අධික කාලයක් වසා තැබීම සම්බන්ධයෙන් ජනතාව සමඟ එක්ව අදාල පියවර ගන්නා බව ද චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.

මීට අමතරව යහපාලන සමයේ ඉදිකරන ලද යාපනය නව නගර ශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා ද වත්මන් ආණ්ඩුව විසින් මේ වන තෙක් අවධානය යොමු කර නොමැති බවද චම්පික රණවක මහතා පැවසුවා.

බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් පළකර ඇති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර ඇත්තේ එක් රටක් තුල සියලු ජනතාවට සහයෝගයෙන් ජීවත් විය හැකි, බිය සැක නොමැති, භෞමික අඛණ්ඩතාවය සුරැකි රටක් තුළ උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම තම දේශපාලන දැක්ම බවයි.

ඒ වෙනුවෙන් 13 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය පූර්ණ එකඟත්වය පළ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

යහපාලන රජය ගොඩ නැගීමෙන් පසු ‍ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දින කීපයක් යාපනයේ සංචාරය කරමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.

නමුත් දකුණේ විපක්ෂය නියෝජනය කරන සිංහල බෞද්ධ නායකයෙකු මෙලෙසින් උතුරේ ජනතාව හමුවීමට යාම විශේෂත්වයක්.

මෙම සංචාරයට ඇති විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ කිසිදු ප්‍රධාන දේශපාලන නායකයෙකු මෙම සංචාරය සඳහා සහභාගී නොවීමයි.

පාඨලී චම්පික රණවක මහතා විසින් බලගන්වා ඇති 43 වන සේනාංකයේ උතුරු පළාත නියෝජනය කරන සාමාජිකයන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

43 නිදහස් අධ්‍යාපන පෙරළිය සමගින් යාපනයෙන් බුද්ධිමතුන් රැසක් බිහි වූ බවත් ඉදිරි දේශපාලන ගමන්මග කිරීමේදී ඔවුන්ගේ දායකත්වය අතිශයින් තීරණාත්මක වන බැවිනි ඔවුන් හමු වීම ද අරමුණු කරගනිමින් තමන් ඇතුළු පිරිස යාපනයේ සංචාරය වූ බවද පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා.

හිටපු අමාත්‍යවරයෙකු වන කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු කණ්ඩායමත් චම්පික රණවක මහතා සමගින් කොළඹ සිට යාපනයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

About The Author