උල්ලංඝනය කළොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කියයි
රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය සේවකයන් සිදුකරන විවේචනාත්මක අදහස් දැක්වීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
මේ අනුව සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාල නියෝගය නිකුත් කර ඇති අතර පසුගිය කාලය පුරා ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම සේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන බවට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නියෝග කඩ කළහොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔවුන්ට අනතුරු අඟවා තිබෙනවා.
එම චක්‍රලේඛයෙහි ආයතන සංග්‍රහය ද උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකි බවයි.
රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයින්ගේ අදහස් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය පවසනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට ද මෙම නියෝග පිළිබඳව දැනුම් දී ඇති අතර ඒ සමග දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩල වලට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙලෙස රජයේ නිලධාරින් විසින් රජයේ ප්‍රතිපත්ති සහ රජයේ මැති ඇමැතිවරුන් ද විවේචනය කරන තැනට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ග්‍රාම සේවා නිලධාරීන්ට එරෙහිව බවයි වාර්තා වන්නේ.
ආතන සංග්‍රහය අනුව සියලු රාජ්‍ය සේවකයින් කටයුතු කළ යුතු බවත් රජය ප්‍රතිපත්ති විවේචනය කිරීම නොකළ යුතු බවත් පෙන්වාදෙන ඔහු සදහන් කරන්නේ විනය ගරුක රාජ්‍ය සේවයක් ඇති කිරීම මෙහි අරමුණ බවයි.
පසුගිය මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව අමාත්‍යාංශයේ ඔහුගේ සියලු තනතුරුවලින් නිදහස් කළේ ඔහු රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීමේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ බව පවසමින්.
එමෙන්ම සතොස ආයතනයේ සිදුවූ මහා පරිමාණ වංචාවන් රැසක් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් සිදුකළ අනාවරණයන් ද පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන්නා.
ඔහු අනාවරණය කළ සුදුළුණු වංචාව මේ වන විට තහවුරු වී තිබෙනවා.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රකට නීතිවේදියෙකු සඳහන් කළේ අදාළ කිසිදු නියෝගයකින් පුද්ගලයන් සතු මූලික අයිතිවාසිකම් අභිබවා යාමට රජයට නොහැකි බවයි.
සාක්ෂි සාධක සහිතව කරුණු විවේචනය කිරීමේ අයිතිය ඕනෑම පුද්ගලයකු සතු බවත්, රාජ්‍ය සේවකයෙකු හෝ පුද්ගලික අංශයේ සේවකයෙකුට වුව ද මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති භාෂණයේ නිදහස හිමිවන බවත් ඔහු පෙන්වා දුන්නා.
නමුත් පදනම් විරහිත ලෙස අපහාස කිරීමේ අරමුණෙන් හෝ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් හෝ යම්කිසි පුද්ගලයෙකු කටයුතු කරන්නේ නම් ඔහුට අදාළව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ඔහු අවධාරණය කළා.
© මූලාශ්‍රය – Sunday Times
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි