Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සහෝදර සමාගමේ පරස්පර කතා මැද රටේ පණ ඩිංග පිටරටින් ඩැහැගනී : වෘත්තිය සමිති මාරන්නතික සටනකට සැරසෙයි

යුගදනවි බලාගාරය අමෙරිකාට විකිණීම ගැන බැසිල් දන්නේ නෑලු : මහින්ද මුනිවත රකී : ගෝඨාභයගේ මාධ්‍ය අංශය විකිණීම සාධාරණිකරණය කරයි

රටේ ආර්ථික මරමස්ථාන රැසක් මේ වන විටත් වත්මන් රජය විසින් පිටරට විකුණා ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මෙහි ඇති තීරණාත්මකම විකිණීම ලෙස ඔවුන් හඳුන්වා දෙන්නේ මෙරට බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අයිතිය පිටරටට විකුණා දැමීමේ සිදුවීමයි.

රටේ පණ නල රැඳී පවතින්නේ එම රට තුල පවතින බලශක්තිය නිසා බව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ.

එහි බලය හෝ අයිතිය වෙනත් පාර්ශවයක් සතු වුවහොත් කුමක් සිදුවනු ඇතිද?

ලංකාවට ඉන්ධන සැපයීම මෙන්ම විදුලිය සැපයීමේ කටයුත්තද මේ වන විට වත්මන් රජය විසින් සිංගප්පුරුව , චීනය, ඉන්දියාව සහ අමෙරිකානු සමාගම් වලට විකුණා අවසන්.

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ කෙරවලපිටිය යුගදනවි විදුලිබලාගාරයේ ශ්‍රී ලංකාව සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත විකුණා දැමීමට ගෙන ඇති තීරණයයි.

බැසිල් දන්නේ නෑලු

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍ර්ස් සමාගමට ලබා දීම සඳහා අත්සන් කළ ගිවිසුම ඇමෙරිකානු පුරවැසියෙකු ද වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදු වූ බවට චෝදනා එල්ල වුවද ඔහු සඳහන් කර තිබෙන්නේ තමන් අදාළ ගිවිසුම දැක නැති බවයි.

ඉකුත්දා පැවති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තහවුරු කරනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා සිටින්නේ යාබද කාමර දෙකක බවද පැවසූ ඔහු මාස දෙකක කාලයක් තිස්සේ අදාළ ගිවිසුම මුදල් අමාත්‍යවරයාද දැක නැති නම් එය බරපතල කාරණාවක් බවද ජයසේකර මහතා සඳහන් කළේය.

ගුවන්විදුලි නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

දැනට අත්සන් තබා ඇත්තේ පෙර සැකසුම් ගිවිසුම පමණක් බවත් වැදගත්ම ගිවිසුම් ඉදිරියේ දී අත්සන් තබන බවත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා පක්ෂ නායක හමුවේ දී ඉල්ලා සිටි බවද ජයසේකර මහතා එහිදී සඳහන් කරනවා.

ඇමති බැසිල්ටත් උඩින් ලොක්කෙක් ඉන්නවද?

බැසිල් රාජපක්ෂ මහතා ගේ කතාවෙන් පැහැදිලි වන්නේ ඔහු සියල්ල දැන දැන කරුණු වසන් කිරීම හෝ ඔහුට ඉහළින් ඔහු අභිබවා තීරණ ගත හැකි පුද්ගලයෙකු ආන්දෝලනාත්මක LNG ගිවිසුමට සම්බන්ධ වී ඇති බවයි.

ඔහු කවරෙකු විය හැකිද?

විදුලිබල මණ්ඩල සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ සාකච්ඡාවකදී අතිශයින් වැදගත් අනාවරණයක් සිදුකරනු ලැබුවා.

යුගදනවි බලාගාරය 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරන ලද්දේ මධ්‍යම රාත්‍රියට ආසන්න වී බව එම අනාවරණයයි.

එපමණකින්ද නොනැවතී ඔහු සඳහන් කළේ එම ගිවිසුම අත්සන් තැබීම සඳහා ඇමරිකාවෙන් පැමිණ සිටි නිලධාරියා ඊලග ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා බෑග් පවා සූදානම් කරගෙන පැමිණ සිටි නිසා රාත්‍රි එකොළහත් පසුවී ගිවිසුම අත්සන් කරන්නට සිදු වූ බවයි.

නීතිපතිවරයාගෙන් නිෂ්කාශන ලබා ගැනීමේදී සිදුවූ ප්‍රමාදය මීට හේතු වූ බව ද ඔහු සඳහන් කළා.

සුද්දන්ගේ තක හනියට රටේ මර්මස්ථාන විකුණා දමන තදියම කාටද?

මේ සියල්ල හරහා පැහැදිලි වන්නේ කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් නොකොට තකහනියේ රටේ සම්පත් විකුණා දැමීමට ආණ්ඩුවේ පාලකයින් කටයුතු කර ඇති බවයි.

නමුත් විමතියට කරුණ වන්නේ ඒ සඳහා උපදෙස් දුන් කෙනෙකු සොයාගත නොහැකි තත්වයක් මතුව තිබීමයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මෙම සිදුවීම සම්බන්ධයෙන් සෘජුව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩට බසී

ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳ ආණ්ඩුව තුළ විවේචන එල්ල වද්දී එය සාධාරණීකරණය කිරීම සඳහා මේ වනවිට පෙරමුණ ගෙන තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයයි.

ඒ අනුව ආණ්ඩුවේම මැති ඇමතිවරුන් පෙන්වා දෙන ආකාරයට රටේ අතිශය සංවේදී සහ හදවත බඳු වූ බලශක්තියේ හිමිකාරීත්වය පිටරටට විකිනීමේ මහ මොළකරු කවුද?

ජනාධිපති මාධ්‍ය අංශය මේ වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

මේ පිටුපස සිටිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද?

රාජපක්ෂ සහෝදර සමාගම එකිනෙකාට පන්දු මාරුකරමින් මේ කරන්නේ රංගනයක්ද?

මේ වන විට සියල්ල හෙළිවෙමින් පවතින්නේ සත්‍ය කිසිදා යටපත් කළ නොහැකිවන බැවින්.

අදාළ ගිවිසුම සාධාරණිකරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය එවූ මාධ්‍ය නිවේදනය

ලාභදායී විදුලිය උත්පාදන ක්‍රමවලට නොගිය හොත් විදුලි බිල වැඩි කිරීමට සිදු වෙයි…

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.

අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අද (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බලධාරීහු මේ බව කියා සිටියහ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” තේමා කරගනිමින් අද මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබිණ.

දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල්
23 – 24 දක්වා වැඩි වී තිබේ. එසේ වුවද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බව විදුලිබල මණ්ඩලයේ සභාපති, එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබූ විදුලි ජනන ව්‍යාපෘති රාශියක් විවිධ හේතූන් නිසා රටට අහිමි වූ බවත් අඛණ්ඩව විදුලි සැපයීම සඳහා විදුලි ජනනය ඉහළ නැංවීම අනිවාර්යය සාධකයක් බවත් සභාපතිවරයා කියා සිටියේය.

යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.

වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්  එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය. ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය.

ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

වෘත්තීය සමිති මාරාන්තික සටනට

මේ තත්ත්වය තුළ විදුලිබල වෘත්තීය සමිති සේම සෙසු සියලු වෘත්තීය සමග ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත අරගලයකට ප්‍රවේශ වී සිටිනවා.

මෙම තීරණය ආපසු හැරවීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් රට තුළ දැවැන්ත වෘත්තීය අරගලයක් සිදු කරන බවට ඔවුන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් මේ වන විට පැහැදිලිව යම් කණ්ඩායමක් රටේ සම්පත් හිතේ හැටියට කැමති කැමති රටවලට සහ පුද්ගලයන්ට කුණුකොල්ලයට ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

About The Author