Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගුරුවරුන්ට ප්‍රතිචාර දක්වයි : බිත්තර ගසා ගෝල්ෆේස් ගෙන ගොස් උල තැබීමට සැරසෙයි

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරු සහ අපේක්ෂකයන් ලවා ආණ්ඩුව නාට්‍ය රඟ දක්වන බවටත් චෝදනා : සිද්ධිය තවත් දිග්ගැස්සෙන ලකුණු

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.

ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්‍රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසට ඊයේ දිනයේ පැමිණි මව්වරුන් පිරිසක් 21 වැනි දින ගුරුවරුන් පාසල් වෙත නොපැමිණියහොත් ගුරුවරුන්ට ගමේ දී පාඩම් උගන්වන බව කියා සිටියා.

එහිදී ඇතැමුන් සදහන් කළේ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළහොත් දැඩි පියවරයන්ට යන බවයි.

එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාද මව්පියන් විසින් මෙම නීතිය අතට ගැනීමේ ක්‍රියාව අනුමත කරමින් අදහස් පළ කරනු දක්නට ලැබුණා.

කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ගුරු සංගමය ‌ සඳහන් කළේ මෙසේ පැමිණ තිබූ මවුපියන් බව පවසන කණ්ඩායම ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රිවරියන් සහ පාක්ෂිකයන් පිරිසක් බවයි.

ගුරුවරුන්ට තර්ජනය කරමින් කටයුතු කිරීමට පැමිණෙනවා නම් වෘත්තීය අරගලය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බවද ගුරු වෘත්තීය සමිති අවධාරණය කරනවා.

About The Author