Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබ ඔබට ආදරය කරන්න.

මානසික අවපීඩනය හෙවත් ඩිප්‍රෙශන් පිළිබඳ මේ වන විට සමාජයේ අවධානය යොමු වී තිබේ. අප නොදන්නවා වුව ද සුප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් බොහෝ පිරිසක් එම තත්ත්වයෙන් පීඩා විඳිති. මේ වන විට මානසික අවපීඩනය හේතුවෙන් ලොව පුරා සිදු ව ඇති ප්‍රසිද්ධ පුද්ගල මරණ ගණන තුන්සියයකට ආසන්න ය. මේ, තමන් ඉන් මිදුණු ආකාරය පිළිබඳ කලාකරුවන් කිහිපදෙනෙකු දැක් වූ අදහස් ය.

1.ලේඩි ගාගා.

“මම ජීවිත කාලය පුරා ම ඩිප්‍රෙශන් නිසා පීඩා වින්දා. අදටත් විඳිනවා. අද අපේ වර්තමාන පරපුර අනිත් අයත් එක්ක සම්බන්ධ වෙලා, ගනුදෙනු කරන ප්‍රමාණය හුඟක් අඩුයි. ඒක හරි ම නරක දෙයක්. ඒකෙන් අපි තනි වෙනවා. 

සමාජ මාධ්‍ය හරි හොඳයි කියලා හිතුවට, ඒකෙන් අපේ මානසික පීඩනය වැඩි වෙනවා. සමහර වෙලාවට දිවි නසා ගන්නත් හිතෙනවා. අනිත් අයගෙ ඇඟ, සිතිවිලි, වචන අපි විහිළුවට ගන්න තාක් කල් මේ ගැටලුව නිසා පීඩා විඳින පිරිස වැඩි වේවි.

මම ඩිප්‍රෙශන්වලින් මිදෙන්න කරන්නේ අනිත් අයට උදව් කරන එක. විශේෂයෙන් ම මගේ තත්ත්වයට ම පත් වෙච්ච අයට ඇහුම්කන් දීලා, එයාලට කියන්න තියෙන හැමදේම අහගෙන ඉන්න එක. ඒකෙන් මගේ පීඩනයත් අඩු වෙනවා, එයාලටත් හොඳක් වෙනවා.”

2. ඩ්වෙයින් ජොන්සන්

“මුලදි මට තේරුම් ගන්න බැරි වුණා ඒ හැඟීම මොකක්ද කියලා. ඇයි මට කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නැත්තෙ කියලා . 

ඒ වගේ වෙලාවට අපි වැඩියෙන් ම කැමති වෙන්නේ තමන් තනි වෙලා නෑ කියලා දැනෙනවාට යි. මානසික අවපීඩනයට ගොදුරු වුණු පළවෙනියාවත් අන්තිමයාවත් ඔයා නෙවෙයි කියන එක හැමවෙලාවේ ම හිතන්න. ඒත් මං හැමදාමත් ප්‍රාර්ථනා කළේ ඒ හැඟීමෙන් විඳවන වෙලාවට කවුරුමහරි කෙනෙක් ඇවිත් මාව බදාගෙන, ‘හැමදේම හරි යයි ජොනී’ කියයි කියලා.”

3.ක්‍රිස් එවන්ස්.

“ඩිප්‍රෙශන් කියන හැඟීම හරියට සපත්තු නොදාපු කකුල්වලින් ගිනි අඟුරු ගොඩක් උඩ ඇවිදිනවා වගෙයි. හරි ම වේදනාවක්. ඒ වෙලාවට මං වැඩිපුර ම කරන්නේ පොත් කියවන එක. විශේෂයෙන් ම බෞද්ධ දර්ශනය ගැන ලියවුණු පොත්වලින් අපට ලොකු මානසික සුවයක් ළඟා කර ගන්න පුළුවනි. භාවනාවත් හොඳයි. හිත සන්සුන් කර ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ.”

4.ලීසා නිකොල්.

“ඩිප්‍රෙශන් තියෙනවා කියලා දැන ගත්තට පස්සේ මම සතියට සැරයක් අනිවාර්යයෙන් ම මනෝ වෛද්‍යවරයෙකුගේ පිහිට පතන්න පුරුදු වුණා. ඒක හරි ම හොඳ දෙයක්. මොකද, එතකොට ඒ ඩොක්ටර්ට පුළුවන් අපේ ලෙඩේ ගැන හොඳ අධ්‍යයනයක් කරලා, තත්ත්වය නරක අතට හැරෙන්න නොදී වළක්වා ගන්න.

අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් තියෙන ගැහැනියක් විදිහට මට සාමාන්‍ය සුදු ජාතිකයෙකුට වඩා මහා හුඟක් හිත් වේදනාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් මං නම් හැමවෙලාවේ ම හිතන්නේ අපි තමයි ලෝකයට මානසික ශක්තියේ පාඩම කියලා දෙන අය කියලා. අපට මානසික ව වැටෙන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ හා සමාන ව ම වැටුණ තැනින් නැගිට ගන්නත් හිත හයිය කර ගන්න ඕන.”

5.රයන් රෙනෝල්ඩ්ස්.

“ඔයාලා හොඳට හොයලා බැලුවොත් තමන්ගේ කසාද බිරිඳ නිසා ඩිප්‍රෙශන් තත්ත්වයට පත් වුණු පිරිමි සෑහෙන්න පිරිසක් ඉන්නවා. හැබැයි මට නම් තියෙන ලොකු ම මානසික සහනය තමයි මගේ බිරිඳ. 

රස්සාවත් එක්ක මට නිදා ගන්න තියෙන වෙලාව හරි අඩුයි. එහෙම වුණා ම ඩිප්‍රෙශන් තත්ත්වය ගොඩක් වැඩි වෙනවා. ඒත් මගේ බිරිඳ හැම වෙලාවේ ම මගේ ළඟින් ඉන්නවා. එයාගෙ උකුළ උඩ ඔළුව තියා ගත්තට පස්සෙ හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා ඩිප්‍රෙශන් තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක් හැම වෙලාවෙ ම උත්සාහ කරන්න ඕනෙ තමන්ගේ ආදරණීයයන් වට කරගෙන ඉන්න. ලෙඩේ නිකම්ම හොඳ වේවි.”

6.කාරා ඩෙලිවින්.

“ඩිප්‍රෙශන්වලින් මිදෙන්න හරි අමාරුයි. විශේෂයෙන් ම මේ වගේ කුරිරු සමාජයක ජීවත් වෙනකොට. මිනිස්සු හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ අනිත් කෙනාව පාගලා දාන්න නෙ. පුළුවන් තරම් දේවල් කියලා, අනිත් මනුස්සයා මානසික ව වට්ටලා, ඊට පස්සේ ෆේස්බුක් එකේ ස්ටේටස් දානවා ‘අනේ ඔයාට දුක නම් මට කෝල් කරන්න.’ කියලා. 

මම නම් ටිකින් ටික හිතන්න පටන් ගත්තා අනිත් අය අපි ගැන කියන දේවල්වලින් අපට වැඩක් නෑ කියන එක. මොකෝ අපි එයාලගෙන් කාලා ඇඳලා ඉන්නවා යැ. මට දුකක් දෙන කිසිම කෙනෙක් ව මං තඹේකට මායිම් කළේ නෑ. එයාලා බෑ කියන සේරම මං තනියම කරලා පෙන්නුවා. මං නම් හිතන්නේ ඩිප්‍රෙශන්වලින් බේරෙන්න තියෙන හොඳ ම ක්‍රමය තමයි තමා තමන්ට ආදරය කරන හැටි ඉගෙන ගන්න එක.”

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author