Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර රටට කොඩිවිනයක් බව හෙළිවෙයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලිඛිතවම දැනුම් දෙයි

චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000 සාම්පල පරීක්ෂා කිරීමේදී ඒවායේ සාම්පල රැසක අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වී ඇති බව Lanka Truth වාර්තා කරනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් අගෝස්තු 31 වනදා අදාළ සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශය වෙත යොමු කර තිබුණේ එහි සාම්පල පරික්ෂාව සඳහායි.

ඒ අනුව අංක 388 දරන සාම්පලයේ gram negative සහ positive බැක්ටීරියා අඩංගු බව නිරෝධායන අංශය වාර්තා කර තිබෙනවා.

එහි erwinia හා bacillus ක්ෂුද්‍ර ඡීවීන් අඩංගු බවත් ඒවා මෙරට ශාකවලට අහිතකර බවත් විද්‍යාගාර පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද සඳහන්.

මීට අමතරව අංක 389 දරන සාම්පලයේ gram positive bacillus වර්ග අඩංගු බවද හෙළිව තිබෙනවා.

එම පොහොර වර්ග මෙරට පසට මිශ්‍ර වුවහො මෙරට ශාක හා වගාවන් සඳහා ඉතා අහිතකර බලපෑමක් ඇති වනු ඇති බව සදහන් වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාව සැප්තැම්බර් මස 08 වැනිදා ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත ලබා දී තිබෙනවා.

වාර්තා ඉවත දමා නුසුදුසු පොහොර ගෙන ඒමේ සුදානමක්

කෙසේ වෙතත් මෙරට පර්යේෂණාගාර ප්‍රතිඵල නොසලකා චීන වාර්තා මත පදනම්ව මෙම පොහොර ආනයනය කිරීම සඳහා සූදානමක් පවතින බවද මේ වන විට වාර්තවනවා.

කෙසේ වෙතත් ප්‍රශ්න කාරී සාම්පල අඩංගු නිෂ්පාදන බැහැර කර වෙනත් නිෂ්පාදන චීනයෙන් ආනයනය කළ ද ඒ හරහාද මෙරට පාංශු ජෛව පද්ධතියට අහිතකර බලපෑමක් ඇතිවනු ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරියෙකු අප සමග පැවසුවා.

සාම්පල පරීක්ෂාවෙන් සමත් වුවද පසුව එහි සංයුතිය වෙනස් වීමේ අවදානමක් පවතින බැවින් පොහොර තොග ගෙන්වන්නේ නම් අඛණ්ඩ සාම්පල පරීක්ෂාවන් සිදුකළ යුතු බවද එම නිලධාරියා අවධාරණය කළා.

චීනයේ නාගරික අපද්‍රව්‍ය සහ කැලිකසල ලංකාවට ගේන්න එපා

ආණ්ඩුව විසින් රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කොට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම රජය තීරණය කිරීමත් සමඟ මෙරට කෘෂිකර්මාන්තය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වුණා.

රටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීම සඳහා රජය සූදානම් වන බවට කරුණු වාර්තා වූයේ මෙවන් පසුබිමක් තුළයි.

එහිදී චීනයෙන් කාබනික ආනයනය කිරීම සම්බන්ධ කරුණු වාර්තා වූ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කළේ කාබනික පොහොර ගෙන්වීමේ මුවාවෙන් ප්‍රමිතියෙන් තොර චීනයේ නාගරික කැලිකසල සහ අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සූදානමක් පවතින බවයි.

පොහොර ආනයනය කිරීම සඳහා රජය ගනු ලැබූ කැබිනට් තීරණය

අදාළ කැබිනට් තීරණය

හෙක්ටෙයාර 11,000ක වගා කටයුතු සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව ජූලි මස පළමු වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

අදාළ කැබිනට් තීරණය

2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක සැපයීම – රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම සඳහා රජය මේ වන විට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, 2021/2022 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සැපයීම සඳහා කඩිනමින් පියවර ගැනීමේ අවශ්‍යතාව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ. මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකුගේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/2022 මහ කන්නය සඳහා හෙක්ටයාර 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත්, තවත් හෙක්ටයාර 100,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර, හඳුනාගනු ලබන ගොවීන් වෙත අවශ්‍ය පහසුකම් සලසා දීමෙන් අනතුරුව නිෂ්පාදනය කිරීමටත් හැකියාව පවතී. ඒ අනුව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණත්වයක් සහිත සාමාජිකයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම.

* 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර 500,000ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් රජයට අයත් පොහොර සමාගම් මඟින් ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා හැරීම.

* අනෙකුත් භෝග හෙක්ටයාර 600,000කට පමණ අවශ්‍ය කාබනික පොහොර එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශයන්ට අනුකූලව මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර හිමි සමාගම් මඟින් ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.

* ආහාර නොවන විසිතුරු පැළෑටි හා කැපුම් මල් වගාවන් හා නිර්පාංශු වගාවන් සඳහා හඳුනාගත් විශේෂිත පොහොර එම භෝගයන්ට අදාළ පර්යේෂණ ආයතනයන්හි නිර්දේශ මත ආනයන බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ ආනයනය කර අදාළ ගොවීන් වෙත බෙදා හැරීම.

©මුලාශ්‍ර – Lanka Truth

About The Author