Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“43 සේනාංකය” තනි මාධ්‍ය හමුවක – පාඨලීගෙන් ජිනීවා ගැටලුව ගැන පැහැදිලි කිරීමක්

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා (04) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා.

එය සංවිධානය කර තිබුනේ 43 සේනාංක ප්‍රධාන කාර්යාලයේ යි.

   එහිදී  මානව හිමිකම් කොමිසම ඉදිරියේ අපි ජයග්‍රහණය කරයිද ? පරාජය වෙයිද ? ශ්‍රී ලංකාවට නැවත GSP සහනය අහිමිවෙයිද ? ආදී කාලීන ජාත්‍යන්තර ගැටළු පිලිබඳ ඔහු විසින් අදහස් පල කිරීම විශේෂත්වයක්.

චම්පික රණවක මහතා එහිදී අවධාරණය කළේ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ලවන චෝදනා වලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවයි.

පුදුමාතලන් අවසාන සටනේදී යටත් වුණු 12,600 ක් වූ එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්තාපනයෙන් පසු මුදුහැරීමට කටයුතු කළේ නම්, ප්‍රභාකරන්ගේ මරණෙන් පස්සෙ එල්ටීටීඊ සංවිධානයේ නායකයා ලෙස ඔවුන් පිළිගත් කුමරන් පද්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් නොකොට නිදහස් කළේ නම්, යුධ අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවන ආරක්ෂක අංශ සමාජිකයන්ද නිදහස් කිරීමට කටයුතු කළයුතු බවයි හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද(04) ‘ජිනීවා මානව හිමිකම් සැසිය, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හා අපේ යෝජනා’ යන මැයෙන් 43 වන සේනාංකය විසින් පැපිලියාන 43 සේනාංකය කාර්යාලයේ සංවිධාන කර තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,

ශ්‍රී ලංකාව නැවත වතාවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට ඡන්ද විමසීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එම යෝජනාවෙන් අපි ජයග්‍රහණය කරයිද ? පරාජය වෙයිද කියල දැන්ම අනාවැකි කියන්න බෑ. නමුත් අපිට බරපතල ප්‍රතිවිපාක මේ හා සමඟ ලැබෙන්න නියමිත බව නම් පැහැදිළියි. මේ යෝජනාව බොහෝ දුරට 2009 මැයි 18 වෙනිදා අවසන් වෙච්ච බෙදුම්වාදී ත්‍රස්වාදී ගැටුමත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව යුධ අපරාධ කළාය කියන පදනමෙන් ඇති කරන ලද යෝජනාවක්. මේ යෝජනාව කලිනුත් ගෙනාවා. අපි පරාජයට පත්වුණා. අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැණුනා.විශේෂයෙන්ම අපේ අපනයනවලට GSP සහනය ලබාදීම යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ප්‍රතික්ෂේප කළා.  එමඟින් ඒවා මත යැපිච්ච ආර්ථිකයක් තිබුණ, ඒ ආර්ථිකයේ යෙදිච්ච පිරිස්වලට ප්‍රශ්න ඇති වුණා.  නැවතත් එවැනි තත්ත්වයක් උදාවෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා,

2015 පත්වුණු ආණ්ඩුව එම යෝජනාවලට සම අනුග්‍රහකත්වයක් දක්වලා යම් යම් දෑ ක්‍රියාත්මක කරන්න ගිහිල්ල නැවත ඒ GSP සහනය ඇමෙරිකා එක්සත් ජනපදයෙත් යුරෝපා සංගමයෙත් දිනාගත්තා. දැන් එයට යම් අභියෝගයක් අපි මේ යෝජනා සම්මතයෙන් පරාජයට පත්වුණොත් අපිට ඇතිවෙයිද කියන ගැටළුව අප ඉදිරියේ තිබෙනවා. මේක සමස්ථ ජනතාවටම බලපාන ප්‍රශ්නයක්.

මේකට විසඳුමක් අපි කණ්ඩායමක් 2018 දි පූර්ව වශයෙන් යෝජනා කළා. එහිදී අපි කිව්වෙ දැනටමත් මේ ගැටුම අවසන් වෙලා අවුරුදු 12 ක්. මේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව කතා කරද්දි අපි බලන්න ඕන යම්කිසි ආකාරයක යුක්ති සහගත භාවයක් තියෙනවද මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කියල. උදාහරණයක් හැටියට එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් යුද්ධයෙන් ඇතිවුණු ගැටුම්, ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හෝ වෙනත් සිදුවීම් වලට අත් අඩංගුවේ ඉන්නවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ පිරිසුත් ඉන්නවා. මෑතදී නිදහස් කරපු සුනිල් රත්නායක එවැන්නෙක්.

මේ ක්‍රියාදාමය යන අතරේ අපිට පේනවා, ජාතික ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊ යට අවි සැපයුම් කළ, යුද්ධයේ අවසන් මොහොතේ ප්‍රභාකරන්ගේ දිවි ගලවාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මැදිහක්වීම් කළ, එක්සත් ජනපදය හරහා මැදිහත්වීම් කළ, ප්‍රභාකරන්ගේ මරණෙන් පස්සෙ එල්ටීටීඊ සංවිධානයේ නායකයා වුණු, කුමරන් පද්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් නොකොට සිටීම. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවෙන්නෙ නෑ. ඒ වගේම එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වෙලා ගිය, ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවකට සම්බන්ධ වුණු විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් වැනි අය සම්බන්ධයෙනුත් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් නෑ. ඒ වගේම පුදුමාතලන් අවසාන සටනේදී යටත් වුණු 12,600 ක් එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්තාපනයෙන් පස්සෙ මුදාහැරල තියෙනවා. ඒ අනුව ඒ අයටත් කිසිම නීතිමය ක්‍රියාවලියක් නෑ. ඒ නිසා යම්කිසි ආකාරයකින් මේ යුධ ගැටුමේදී යුධ අපරාධ කළා යැයි ශ්‍රී ලංකා යුධ හමුදාවට පමණක්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පමණක් චෝදනා ඉදිරිපත් කරන්න බෑ. එසේ කරන්නේ නම්, එල්ටීටීඊ සමාජිකයන් 12,600 ත්, කුමරන් පද්මනාදනුත් අත්අඩංගුවට අරගෙන අධි චෝදනා පත්‍ර සකසා ඒ පිලිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරන්න ඕන. අවුරුදු 12 කට පස්සෙ එවැනි කටයුත්තක් කිරීම අපහසු බව පැහැදිළියි. එවැනි කටයුත්තක් කිරීමෙන් මේ පවතින සංහිඳියාවත් බිඳ වැටෙන බව මේ ක්‍රියාදාමයේදී අප අමතක කරන්න හොඳ නෑ. ඒ පාර්ශවයන් ගැන කිසිවක් කරන්නේ නැතිව, මේ තනි පාර්ශවයක් ඉලක්ක කර ගැනීම මගින් ලංකාවේ ජනතාව තුළ දැවැන්ත අසහනයක්, ඒ වගේම දැවැන්ත ආකාරයේ වෛරකාරී හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැකියි. ඒ වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවේ පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මේ සඳහා අපේ යෝජනාව ඉතාම සරලව ගත්තොත්, ඉහත සිදුවීම ක්‍රියාදාමය දැන් අප අමතක කළයුතු කාරණයක්. විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්න ආරක්ෂක අංශ සාමාජිකයෝ, මේ යුධ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ අපරාධ කරපු අය වෙන්කොට ගන්න ඕන. ත්‍රීකුණාමලයේ සිසුන් 11 දෙනා පැහැරගැනීම වැනි යුධ ක්‍රියාවලියට සම්බන්ධ යම් යම් දෑ පාවිච්චි කර, කරපු පෞද්ගලික අපරාධ, කප්පම් ගැනීම්, ඝාතනයන්, වගේ ඒව වෙනම ගන්න ඕන. ඒ වගේම එල්ටීටීඊ සාමාජිකයන්ගෙනුත් ඒ ප්‍රශ්න ඒ විදියටම ගන්න ඕන. ත්‍රස්තවාදයේදී එල්ටීටීඊ නායකයින් විසින් නියෝග දීල සිදුකරන ලද අපරාධ තිබෙනවනම් ඒ අය වෙනමත්, තමන් පෞද්ගලිකව එල්ටීටීඊ එකේ ශක්තීන් පාවිච්චි කරල කරපු පෞද්ගලික අපරාධ තිබෙනවනම් ඒවත් අපි වෙන වෙනම ගන්න ඕන. ශ්‍රී ලංකා යුධ හමුදාවෙත් කෙලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා අණදෙන මූලස්ථානය විසින් යම් යම් කාර්යයන් සඳහා කරන ලද නියමනයන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ල සිදුවෙච්ච ඝාතන හෝ ඊට සමාන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හඳුනාගෙන තිබෙන, දැන් නඩුදාල තිබෙන  හෝ  යම්කිසි පිරිසකට නඩු දාන්න යනවනම් ඒ පිරිස වෙනමත්, එල්ටීටීඊ නායකත්වය විසින් අණ දීල සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් එවැනි ආකාරයට නඩු දාන්න යනවනම් හරි, නඩු දාල තිබෙනවනම් හරි එවැනි පිරිසුත් වෙන්කොට හඳුනාගන්න ඕන. පුද්ගලික අපරාධ නඩු ඉදිරියට ගෙනයන්න ඕන.

ඉතාම සරලව ගත්තොත් අපි මේ දෙපාර්ශවයේම අය, සන්නද්ධ හමුදාවේ අණ මත ක්‍රියාකරපු අයත්, එල්ටීටීඊ නායකයින්ගේ අණමත ක්‍රියාකරපු අයත්, මේ පිරිස 12,600 ගෙදර යැව්ව වගේ, කුමරන් පද්මනාදන් ගෙදර යැව්ව වගේ අපි මේ සියලු දෙනාට පොදු සමාවක් දීල ගෙදර යවන්න ඕන. මේක ලංකාවට අමුතු යමක් නෙමෙයි.

1989 කැරැල්ලට සම්බන්ධ වෙච්ච, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මියගියා තමයි, නමුත් ඊට සම්බන්ධ බරපතල සිදුවීම් වලට සම්බන්ධ පිරිස් බෝහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න ඉඩ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කළා. ඒනිසා මේ ක්‍රියාවලිය බොහොම විවෘතව අපි සිදු කරන්න ඕන. සිදුකරල මේ දෙපිරිසටම පොදු සමාවක් දීල ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලබාදෙන්න ඕන. ඒ වගේම ලංකාණ්ඩුව විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුළ විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන දේශපාලනික වශයෙන් කටයුතු කිරීමත්, යම් යම් ආගමික අසහනයන් ඇතිවන ආකාරයට ඉතාම මුග්ධ අමනෝඥ ආකාරයට හැසිරීමත්, ඒ වගේම එම සිදුවීම් ජාත්‍යන්තර තලයේ කරලියට ආවහම ඒවාට ඉතාම මුග්ධ විදියට පිළිතුරුදීමත්, ලංකාව තුළ දෙබිඩි ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමත් නිසා මේ රටේ ප්‍රතිරූපය, විදේශ රටවල් ඉදිරියේ බරපතල ලෙස විනාශ වෙනවා.

මෙම පොදු කාරණයේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය කරනවා. ඉන්දියාවට මෙවැනි චෝදනාවක් ආපු වෙලාවෙ, ඉන්දිරා ගාන්ධි මැතිණිය, කාශ්මීරයේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ කරුණු දක්වන්න යැව්වෙ විපක්ෂ නායකවරයා. ඒ අය අතරේ ඒ පිළිබඳව එකඟතාවයක් තිබුණා. මේ තනි මතයට, උද්ධච්ච ආකාරයට, තනියෙන් ක්‍රියාකරන්න ගිහිල්ල බොහොම බරපතල ප්‍රශ්න වලට රටට මුහුණු දෙන්න පුළුවන්. මොකද ලංකාවේ ජනතාවට මාධ්‍ය සංදර්ශන පවත්වල, ජාතිය ආගම බේරගන්නවා යැයි පපුවට අත ගහගෙන ඒ විදියට ඡන්ද කරනවා වගේ විදේශ රටවල ඡන්දය ලබාගන්න බෑ, අපි දැන් කිහිප වතාවක් මේකෙන් මට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා ජාතන්තර බලපෑම් පැමිණුනොත් අපේ රටේ ජනතාවට ආර්ථික වශයෙන් බලපානවා. කෝවිඩ් එක නිසා දැනටමත් අපහසුතාවයට පත්වෙලා තිබෙන අපේ අපනයන ක්ෂේත්‍රය, අපේ සංචාරක ක්ෂේත්‍රය මේ තුළින් තවත් අපහසුතාවයට, අවමානයට ලක්වෙනවා.

About The Author