සාමාන්‍යයෙන් අපට ඇති වන රෝගයකට හෝ අපගේ ශරීරයට සිදු වන ඕනෑ ම ආකාරයක ගැටලුවකට විසඳුම් ලබා ගැනීම සඳහා යොමු විය යුත්තේ වෛද්‍යවරුන් වෙත ය. එහෙත් ඇතැම් රෝගීන් දුටු විට වෛද්‍යවරුන් පවා පුදුමයට පත් වන බව ඔබ දන්නවා ද?
1.හදවත් රෝගියාට කැස්ස සමඟ පිට වූ ලේ කැටිය කුමක් ද?
කැලිෆෝනියාවේ විසූ වයස අවුරුදු 36ක රෝගියෙකුට හදිසියේ කැස්සක් ඇති විය. කට වසා ගත් ලේන්සුව දිග හැර බලන විට එහි විශාල ලේ කැටියක් තිබෙනු ඔහුට දැකගත හැකි විය. මෙම පුද්ගලයා මාස කිහිපයක සිට රුධිරය තනුක කර ගැනීම වෙනුවෙන් ඖෂධ ලබා ගත් අයෙකි. එනම්, හෘදයේ ඇති ව තිබූ කිසියම් ආබාධයක් හේතුවෙන් පහසුවෙන් රුධිරය පොම්ප කොට ගලා යාම සඳහා ලේ කැටි ගැසීම අවම කිරීමේ බෙහෙත් වර්ග ලබා ගත්තෙකි.
එහෙයින් බිය වූ ඔහු වහා ම ලේ කැටිය රැඳි ලේන්සුව ද රැගෙන රෝහල වෙත ගියේ ය. එය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ට පෙනුණේ ලේ කැටියේ අභ්‍යන්තර හැඩය නිවැරදිව ම ගතහොත් පෙණහල්ලක හැඩයට සමාන බව ය. මෙම තත්ත්වය සඳහා ඔහු ගත් ඖෂධ බලපාන්නට ඇති බවට වෛද්‍යවරු සැක කළහ. ලේ තනුක කිරීම බරපතල හදවත් රෝග සඳහා අත්‍යවශ්‍ය වුවත්, එයින් ලේ කැටි ගැසීම අවම කරවීම හේතුවෙන් ඕනෑම විටෙක රුධිර වහනයක් සිදු විය හැකි ය. මෙවැනි රෝගීන් ආයුධ සමඟ වැඩ කිරීමේ දී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු වන්නේ එහෙයිනි.
අදාළ රෝගියාට ඇති ව තිබුණේ ඉතා විරල තත්ත්වයකි. හදිසි කැස්සත් සමඟ රෝගියාගේ දකුණු පෙණහල්ලේ අනු ශ්වාස නාලිකාවක සුළු කොටසක් කැඩී වෙන් වී තිබිණි. ලේ කැටියක් සේ පිටතට පැමිණියේ එයයි. ඇතැම් විට ක්ෂය රෝගයේ අවසන් අවස්ථාවේ දී ද මෙවැන්නක් සිදු වනු දැකිය හැකි ය. අදාළ සිදුවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය ඉතා බරපතල බවට පත් වූ අතර, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදු විය. එහෙත් දින කිහිපයකට පසු ඔහු මිය ගියේ ය. එබැවින් කැස්ස සමඟ ලේ පිටවීමක් සිදු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වීම සුදුසු වන අතර, ලේ තනුක වීම සඳහා ඖෂධ භාවිත කරන්නන් ද වඩාත් ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කිරීම නුවණට හුරු ය.
2. මහලු කාන්තාවගේ නාසය ඉදිමුණේ ඇයි?
නාසය පිරිසිඳු කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් ජලය ස්වල්පයක් අතට ගෙන, හැකි ප්‍රමාණයකින් එය නාස් ගුල් තුළට ගෙන, නැවත සූරා දැමීම සිදු කරමු. එහෙත් බොහෝ රටවල ජනයා මේ සඳහා භාවිත කරනුයේ තේ පෝච්චියක් වැනි බඳුනකි. “නෙටි පොට්” යනුවෙන් හැඳින්වෙන එය භාවිතය ද ඉතා පහසු ය. බඳුනට ජලය දමා, නාසය හරහට සිටින සේ හරවා, කෙමිය තුළින් ටිකෙන් ටික එක් නාස් ගුලකට ජලය ඇතුළු කෙරෙයි. එම ජලය පෙණහලු තුළට නොගෙන අනෙක් නාස් පුඬුව හරහා ඉවත යැවෙයි.
සියැට්ල් නගරයේ විසූ 69 හැවිරිදි කාන්තාවක සුපුරුදු පරිදි නල ජලය භාවිත කරමින් මෙම නාස් පිරිසිඳු කිරීම කර තිබූ අතර, වැඩි කල් යන්නට මත්තෙන් ඇගේ නාසය වේදනා දෙන්නට පටන් ගෙන තිබිණි. වසරක් පමණ ගත වද්දී නාසය ඉදිමී, හුස්ම ගැනීමට පවා අපහසු විය.
මුල දී වෛද්‍යවරුන් සිතුවේ ඇයට මොළයේ ගෙඩියක් ඇති බව ය. නමුත් පරීක්ෂණවලින් පෙනී ගියේ ඇයට “බාලමූටියා මැන්ඩ්රිලරිස්” නම් ඇමීබාවා ආසාදනය වී ඇති බවයි. ජලය ආශ්රිත ව ජීවත් වන මෙම ඇමීබාවාගේ ආසාදනය ඉතා දුර්ලභ වන අතර 1993 සිට අද දක්වා එක්සත් ජනපදය තුළ වාර්තා වී ඇති රෝගීන් ගණන ද 70 ක් පමණි. වෛද්‍යවරුන් සැක කරන්නේ නල ජලය මගින් මෙම සත්ත්වයා කාන්තාවගේ නාසය වෙත ආසාදනය වී ඇති බවයි. මේ නිසා නෙටි බඳුනකින් නාසය පිරිසිඳු කර ගැනීමට උත්සාහ ගන්නා සියලුදෙනා පමණක් නොව ශරීර අවයව තුළට ජලය ඇතුළු කිරීමට උත්සාහ ගන්නා හැම දෙනා ද විෂබීජහරණය කළ ජලය හෝ සේලයින් ජලය ඒ සඳහා භාවිත කිරීම අතිශය වැදගත් වේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්