Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියලු ඉදිකිරීම් නවතා දමන්න : ජාතික ඉදිකිරීම් සංගමය

සිමෙන්ති මිල ඉහළ යාම හමුවේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය මත ලක්ෂ 100 කට සාදා නිම කිරීමට සැලසුම් කරන නිවසක් අද ලක්ෂ 250 කින් හෝ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙය මාෆියාවක් වන අතර සිමෙන්ති මිල ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර එය ක්‍රියාත්මක කරන බවත් රජය මෙයට මැදිහත්වීමක් සිදු නොකරන බවයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙසද අවධාරණය කළේය.

”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය නොකර අතහැරලා තියෙන්නේ. මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගිහින් මොකක්ද අවසානේ මේ කරන්න හදන්නේ.

මාසෙකට මෙට්‍රික් ටොන් හයලක්ෂයක් වෙළඳපොළට නිකුත් වෙන්න ඕනේ, රටේ වෙළෙඳපොළ මධ්‍යස්ථාන අටදහසක් තියනවා නමුත් අටදහසේම බහුතරයකම සිමෙන්ති නැහැ.

මෙතන මාෆියාවක් වෙන්නේ. කලින් මෙහෙම වුණේ නැහැ. දෙදාස් විසිඑකේ ඉඳන් මෙහෙම දෙයක් වුණේ නැහැ. කොවිඩ් කාලෙත් වුණේ නැහැ.

හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භය කළා නමුත් මොකද වුණේ කිසි කෙනෙක් ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. කෝ දේශීය කර්මාන්තයෙන් නිෂ්පාදනය කළ සිමෙන්ති. රටේ සංවර්ධනය නතර කරලා මේ රටේ උද්ඝෝෂණය කිරීම් වැඩි කරන්න උඩගෙඩි දීමක් නේද මේ කරන්නේ. වෙනදා නම් සිමෙන්ති වැඩි කරනවා නම් ක්‍රමවේදයක් තිබුණා. දැන් මුකුත් නැහැ එහෙම දෙයක්. කිසි කෙනෙක් මැදිහත්වෙන්නේ නැහැ.”

About The Author