Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිංහල අවුරුද්දෙන් පසු විපක්ෂයේ ප්‍රධාන පක්ෂය අතුරුදහන්

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු පවතින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම අනාවැකිය ලියා තියා ගන්නා ලෙස ද අබේවර්ධන මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ හමුවකදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ළඟදී මැතිවරණයක් එනවදැයි ඇතැම් අය අහන බව කී අබේවර්ධන මහතා ලබන අයවැයෙන් පවා මැතිවරණයකට මුදල් වෙන් කළහොත් ජනතාවට අවශ්‍ය පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස්, භුමිතෙල් ලබාගන්න බැරි වනු ඇතැයි ද කීය.

මුලින්ම අපි ආර්ථිකය ස්ථාවර කර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය මුදල් සොයාගත යුතු බව කී අබේවර්ධන මහතා ඉන් අනතුරුව ඕන මැතිවරණයක් පවත්වන්න හැකියාව තිබෙන බව සඳහන් කළේය.

පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් මේ රටේ බලය අල්ලන්න හෝ තවදුරටත් රට ඉදිරියට ගෙනියන්න බැරි බව කී අබේවර්ධන මහතා ජනාධිපතිවරයා ද ඒ කාරණය පිළිගෙන ඇති බව සඳහන් කළේය.

විපක්ෂය තවදුරටත් පැරණි දේශපාලන ක්‍රමවේදයම ක්‍රියාත්මක කරමින් සිටින බව කී අබේවර්ධන මහතා ඒ ක්‍රමය තාවකාලික බවද විපක්ෂය කරන වැඩෙන් සිද්ධ වෙන්නේ රට නැවත වතාවක් අමාරුවේ වැටෙන එක බව සඳහන් කළේය.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.

About The Author