Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්

මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව සමාලෝචනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන් පරිදි පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබෙන අතර මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර තිබෙන බවයි.

ඒ අනුව කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙට්‍රික් ටොන් 3.5 සිට 5 දක්වා වී අස්වැන්නක් හෙක්ටයාර් එකකින් ලබා ගෙන ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක මෙට්‍රික් ටොන් 7 සිට 11 දක්වා වු අස්වැන්නක් ද ලබා ගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය මහ කන්නයේ හා මෙවර යල කන්නයේ සමස්ත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් වන අතර ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බවත් ඒ අනුව ගත් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් රටේ පවතින බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

About The Author