Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සල්ලි දුන්නොත් ගහපුවා දෙන්නම්

දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද මුදල් ලබාදෙන තුරු බාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට අද (17) දැනුම් දුන්නාය.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.

දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිසියේ ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් නැතැයිද ඇය පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බවද ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල යම් කිසි හේතුවකින් ඒ මැතිවරණය අවලංගු කෙරුණහොත් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසයි.

එහෙත් උපදෙස් පත්‍රිකා සහ පෝරම පමණක් වෙනත් මැතිවරණවලට යොදාගත හැකි බවද සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මුදල් ලබා දෙනතුරු ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ( 16) දැනුම් දුන්නාය.

About The Author