Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ වෙනසක් වෙනුවෙන් ටිල්වින්ගෙන් ඉල්ලීමක්

සමාජ වෙනසක් වෙනුවෙන් කළ අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවට ආරාධනා කරයි.

ඔහු මෙලෙම ආරාධනා කර සිටියේ අද (17) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“අද දවස අපේ රටට වැදගත් දවසක්. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට දින නියම කිරීමේ බලය ලැබෙන්නේ 17 වැනි දින, අද දවසේයි. අපි හිතනවා, මැතිවරණ කොමිසම තමන්ට ලැබෙන නීතිමය ප්‍රතිපාදන අනුව මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මන් දිනයක් මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කරාවි කියලා. බලයේ ඉන්න කණ්ඩායම් විසින් මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් හදා තිබෙනවා. ජනතාව දැන් බලන් ඉන්නවා කොමිසමත් කල් ගනීවිදැයි කියලා. අපි හිතනවා කොමිසම ඉක්මන් දිනයක් ප්‍රකාශයට පත්කොට මේ සැකය නැතිකරාවි කියලා.

1982 සිට ජනාධිපතිවරණ කිහිපයක්ම පවත්වා තිබෙනවා. ඒ සියලු ජනාධිපතිවරණවලට වඩා මේ මැතිවරණය විශේෂයක් ගන්නවා. අපේ රටේ ජනාධිපතිවරයෙක් තනතුර දාලා ගිහින්, ඒ හිස් තැන බාරගන්න වෙනත් කෙනෙක් පත්වෙලා. මේක ඒකෙන් පසුව පවත්වන ජනාධිපතිවරණයක්. පසුගිය කාලයේ විශාල මහජන අරගලයක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රට අරාජික වී, ජනතාව පෝලිම්වල මියැදෙමින්, ජනතාව පීඩාවට පත්වූ මොහොතක, ජනතාව මහපාරට බැහැලා දැවැන්ත අරගලයක් කළා. අරගලය නිමා වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමත්, මහින්ද රාජපක්ෂ අගමැතිකමත්, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ ඇමතිකමුත් අත්හැරීමෙනුයි. ඒ ගොල්ලන් ඇමතිකම් අත්හැර ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වුණේ රාජපක්ෂ පාලනය අහෝසි කරලා අලුත් වෙනසක්. අරගලයේ සිටි ජනතාවගේ අරමුණු ඉටු වුණේ නැහැ. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ලැබෙන පළමුවැනි අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්න වුවමනාව තිබෙනවා. මේ ඉන්න දුෂ්ට, පාලකයන් වෙනස් කරලා, තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීමේ ඕනෑකම තිබෙනවා.

අනෙක් පැත්තෙන් බැලුවාම, අපේ රට පාලනය කරන්නේ ජන වරමක් නැති කෙනෙක්. එයාව රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමේ ඡන්දවලින් ජනාධිපති ලෙස පත්කර ගත්තා. ජනතාව අරගල කළේ රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා පරද්දන්න. 2019 ජනතාව ඡන්දෙ දුන්නේ රනිල්ලා පරද්දන්න. ඒ ඡන්දවලින් බලයට පත්වුණු රාජපක්ෂලා ඉතිරි කාලයට, රනිල්ව ජනාධිපති කර ගන්නවා. මේ තිබෙන පාර්ලිමේන්තුව ජනවරම නියෝජනය නොවෙන විකෘති පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ ජනවරම නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ජනතාවට ජනවරමකින් පත්කර ගන්නා ජනාධිපති කෙනෙක් ඕනෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණය ඉතා විශේෂ තැනක් ගන්නවා. අලුත් ගමන් මඟක යාමට, අලුත් පාලන යන්ත්‍රයක් ගොඩනඟා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ මේ ජනාධිපතිවරණයෙනුයි. ඒ නිසා ජනතාව ඡන්දය එනතෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටියා, තමන්ගේ අදහස ප්‍රකාශ කර ගන්න. තමන්ගේ විරෝධය ප්‍රකාශකර ගන්න.

අපේ ජනතාව විශාල ප්‍රමාණයක් මහපාරට බැහැලා, සාමකාමී දැවැන්ත අරගලයක් කරලා, සමාජය වෙනසක් වෙනුවෙන් කළ අරගලය අංග සම්පූර්ණ කර ගන්න, අලුත් පාලනයක් ගොඩනගා ගන්න ලැබෙන අවස්ථාවක් මේ ජනාධිපතිවරණය. ඒ නිසා සෑම පැත්තකින්ම විශේෂ හා ඉතා වැදගත්කමක් තිබෙන ඡන්දයක්. අනෙක් විශේෂත්වය තමයි මේ රටේ වැඩිම බාධාව තිබුණු ඡන්දය. මීට පෙර ජනතාව ඡන්දවලට අකමැතිව තිබියදීත්, පාලකයන් ඡන්ද ඉතා කැමැත්තෙන් පැවැත්වූවා. නමුත් මෙවර ජනතාව ඡන්දෙ එනකම් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. නමුත් පාලකයන් ඡන්දෙට බයවෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිත් ණය ගෙවන්නේ නැතිව ඉඳලා, ණය නොගෙවීමේ වාසියෙන් පෝලිම් ටික අඩු කළාට පස්සේ, එයාම වර්ණනා කර ගත්තා රට ගොඩගත්ත නායකයා කියලා. රනිල් වික්‍රමසිංහ රට බාර ගන්නකොට ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් 84ක් අතර ප්‍රමාණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවල සඳහන් වෙනවා. නමුත් මේ අවුරුද්දේ මාර්තු මාසෙ වෙනකොට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 100.2ක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වෙනවා. අපේ ජනතාව මත අතිශය විශාල ලෙස බදු පැනවූවා. වැටුප ලක්ෂයට වඩා වැඩි රැකියා කරන අයට අසීමිත ලෙස බදු ගැහුවා. මේ තත්වය හදා ගත්තේ එහෙම ජනතාව මිරිකලා තමයි. රනිල් වික්‍රමසිංහ රට ගොඩ අරගෙන නැහැ. එයාට දිනන්න පුළුවන් කියලා එයා හිතුවත් කාලයාගේ ඇවෑමෙන් තේරුම් ගත්තා ජයග්‍රහණය සඳහා ඉඩකඩ නැති බව. ඒ නිසා ජනාධිපතිවරණය මඟහැර යාමට උත්සාහ කළා. ඒ නිසා මුලින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. ඊට පස්සේ ජනාධිපති ඡන්දයට බය නිසා, මහින්ද රාජපක්ෂලා හැදුවා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් තියන්න. ඒ අවස්ථාවත් බැරිව ගියා. ඊට පස්සේ තමන්ගේ ගෝලබාලයන් ලවා රනිල් වික්‍රමසිංහට නිතරගයෙන් තව අවුරුදු කිහිපයක් දෙමු කියලා යෝජනා කළා. රංගේ බණ්ඩාර යෝජනාවක් ගෙනාවා ජනමත විචාරණයකින් රනිල්ට අවුරුදු දෙකක් ඉඩ දෙන්න. ඒකට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. ඡන්දෙකට නොගොස්, රනිල් වික්‍රමසිංහ තවදුරටත් තනතුරේ තබා ගැනීමට ඊට පසුවත් විවිධ යෝජනා ගෙනාවා.

ජනාධිපතිවරණය තියලා පැරදුණාට පස්සේ රනිල්ට ගෙදර යන්න වෙනවා. ජනාධිපතිකමේ බලය නිසා ඒ වටා එකතු වෙලා විවිධ වරප්‍රසාද, තනතුරු අරගෙන ජීවත් වෙන එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ජීවත් වීමේ මාර්ගය අහෝසි වෙනවා. උපදේශක තනතුරු නැතිවෙනවා. ඒගොල්ලන්ට ලොකු බයක් තිබෙනවා. ඒ ගොල්ලන් කැමතියි මහජනතාවගේ මුදල්වලින් තව අවුරුදු දෙක තුනක් ජීවත් වෙන්න. ඊට පස්සේ උත්සාහ කළා ව්‍යවස්ථාවේ හිලකින් රිංගන්න පුළුවන්ද කියා බලන්න. ඒකට තමයි අවුරුදු 05හේ කාලය 06 දක්වා කරන්න පුළුවන්ද බලන්න විවිධ උත්සාහයන් දැරුවා. ඒ එකක් තමයි ලේනව නමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම. එහි ප්‍රතිඵලය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දාලා ලක්ෂයක දඩයක් ගැසුවා. තවත් නීතිඥ මහතෙක් 19 ව්‍යවස්ථාව සම්මත වුණු ආකාරය වැරදි බව පෙන්වමින් මැතිවරණය නවත්වන්න පෙත්සමක් ඉදිරිපත් කළා. අධිකරණය ඒ පෙත්සමත් ඉවත දමා ලක්ෂ පහක දඩයක් ගැසුවා. මේ පාලක කණ්ඩායම, රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා මුහුණ දෙන්න අකමැතිම ඡන්දය තමයි මේ ජනාධිපතිවරණ ඡන්දය. මේක ඡන්දය වළක්වන්න ගන්නා ලද උත්සාහයන් සියල්ලම පරාජය කරමින් එන අති විශේෂ ඡන්දයක්. තාමත් ජනතාව තුළ විචිකිච්ඡාව තිබෙනවා. තාමත් කැබිනට් මණ්ඩලය අනුමත කර ගත් ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙනවා. එය පලක් වෙන එකක් නොවුණත් තවමත් තියාගෙන ඉන්නවා. අපි දන්නවා පවතින නීතියට අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වීම හැර වෙන විකල්පයක් ඇත්තේම නැහැ.

අද සිට ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහට හෝ ආණ්ඩුවට හෝ නොවෙයි , මැතිවරණ කොමිසමටයි. කොමිසමට පැවරෙනවා ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශයක් කරන සහ ඡන්දය පවත්වන වගකීම. අප වැනි රටක ජනතාව මැතිවරණ කෙරෙහි විශ්වාස තබා ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන් වෙනස් කළ හැකියි කියන අදහස සමාජය තුළ පවතින්න නම්, මේ කරන කැත වැඩය නවත්වන්න ඕනෑ. මේ දෙගෙඩියාව නවත්වන්න ඕනෑ. ඡන්දය එන එකක් නැහැයි කියන අදහස නවත්වන්න ඕනෑ. දැන් බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. අපි කොමිසමෙන් ඉල්ලීමක් කරනවා, තමන්ගේ බලය අනුව දින ප්‍රකාශයට පත්කරන්න කියලා. මැතිවරණ කොමිසම පිළිබඳවත් සමාජයේ යම් දෙගෙඩියාවක් තිබෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්දය කල් දැම්මාම කොමිසමට බැරි වුණා ඒක පවත්වා ගන්න. කොමිසම යම් උත්සාහයක් දැරුවා. හැබැයි උපරිම උත්සාහය දැරුවේ නැහැ. සමාජය තුළ කොමිසම පිළිබඳව තිබෙන මතය වෙනස් කර නැහැ. කොමිසම පෙනී ඉන්නේ ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මැතිවරණ කොමිසම ඡන්ද කල්දාන කොමිසමක් නොවෙයි ඡන්ද පවත්වන කොමිසමක්. ඒ නිසා, ‘අපි සූදානම් ඡන්දය පවත්වන්න. කිසිදු බලපෑමක් අපට නැහැ.’ කියලා ස්වාධීනව කටයුතු කරන කොමිසමක් බව ඔප්පු කරමින් ඡන්දය සඳහා දින ප්‍රකාශයට පත්කරන්න ඕනෑ කියලා අපි හිතනවා. මැතිවරණ කොමිසම වගකියන්න ඕනෙ ව්‍යවස්ථාවට, අපේ රටේ ජනතාවට. රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට හෝ සජිත් ප්‍රේමදාසට හෝ අපට වත් වගකියන්න ඕන නැහැ.

රනිල් වික්‍රමසිංහ ‘ගේමක් ගහලා මේ මැතිවරණය නොතියා ඉඳියි’ කියන විහිළුකාරී මතයක් දිගටම සමාජයේ පවත්වා ගෙන ආවා. රනිල් නියම ගැටකාරයෙක් නම්, ඡන්දය නවත්වන්න තිබුණේ මීට බොහෝ කලකට කලින්. එයා ඡන්දෙ කල්දමා ගන්න කළ උප්පරවැට්ටි සියල්ලම අසමත් වෙලා තියෙන්නේ. මේක යුග පරිවර්තනයක්. අපි එක යුගයක ඉඳලා ඊට වඩා හොඳ යහපත් ක්‍රමයකට මාරු වෙන්න හදන අවස්ථාවක්. පාලක කණ්ඩායම් හැමවිටම ඡන්ද නොතියා ඉන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් බිය වැද්දීම කරනවා. වහසිබස් දොඩනවා. නිශ්ශංක සේනාධිපති අනුරව පරදවන්න කෝටි ගණනක් වියදම් කරන්න සූදානම් බව කිවුවා. දැන් එයා සොයා ගන්නවත් නැහැ. ලොහාන් රත්වත්තේ, ජීවත්ව ඉන්නකම් “අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ” කියනවා. ජනතාවගේ කැමැත්තත්, ජන බලයත්, වෙනස් කරන්න එක එක කයිවාරුකාරයන්ට බැහැ. මේ මෝදු වෙලා එන්නේ ජනතාවගේ කැමැත්ත. වසර 76ක දුෂ්ට, නරුම පාලනය එපා වෙලා, දුක විඳලා ඇති වෙලා, ජනතාව වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස කර ගන්න හොඳම තැන ජාතික ජන බලවේගය කියලා ජනතාව හිතනවා. ඒ සමග ජනතාව එකතු වෙනවා. තර්ජනය කරලා, බොරු කරලා, සල්ලි වියදම් කරලා ඒක නවත්වන්න බැහැ. අවසානයේදීවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදී වුණාය කියලා ජනතාවට පෙන්වන්න ඒ මතයට හිස නමලා, ජනාධිපතිවරණය පවත්වලා ජනතාවගේ කැමැත්තෙන් කෙනෙක් පත්කර ගන්න ඉඩකඩ හදන එක තමයි දැන් තිබෙන්නේ. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 17ට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි.

අපි ජනතාවට කියන්නේ, ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ඉදිරියේ පැවැත්වෙනවා. රටේ වෙනසක් සඳහා අවස්ථාවක් ලෙස එය පාවිච්චි කරන්න. මේ ජනාධිපතිවරණය රටට අලුත් යුගයක්, ජනතාව අතර සමගිය ගොඩනඟන, වැටුණු ආර්ථිකය ගොඩනඟන, දුප්පත්කමින් රට මුදා ගන්න, පුනරුදයක් නිර්මාණය කරන පාලනයක් ගොඩන අඩිතාලම දාන්න ඕනෑ. මෙතෙක් අපේ තිබූ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් කර ගන්න ඉදිරියට එන්න. මැතිවරණ කොමිසමෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ පවතින විශේෂ තත්වයන් තේරුම් අරගෙන තමන්ගේ වගකීම ඉතාමත් ඉක්මනින් නිවැරදිව ඉටුකරන්න කියලා.”

©LankaTruth

About The Author