Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍ය මර්දන පනත රනිල්- රාජපක්ෂ කල්ලියේ බියගුළුකම පෙන්වීමක් – පුබුදු ජයගොඩ

සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීම මර්දනය කිරීම සඳහා සැප්තැම්බර් 15 දින ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාවය පිලිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුව ජනතාවට කෙතරම් බියවී සිටින්නේද යන්න ප්‍රදර්ශනය කරවන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් දැක්වීය.

මේ පනතට අනුව සියළු මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය පිලිබඳ තීරණ ගැනීමට බලය සහිත කොමිසමක් පිහිටුවනු ලබනවා. ඒ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඒ අයව ඕන වෙලාවක ඒ අයව අස් කරන්නත් ජනාධිපතිට පුළුවන්. ඒ කොමිසමේ සභාපති පත් කරන්නේත් ජනාධිපති. ඒ කියන්නේ මේ කොමිසම ජනාධිපතිගේ රූකඩයක්. ඒ වගේම පනතට අනුව කොමිසමේ රැස්වීම් වල ඝන පූරණය තුන් දෙනයි. ඒකෙන් දෙන්නෙකුට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති පත් කරන දෙන්නෙකුට පුළුවන් සමාජ මාධ්‍ය ගැන තීරණ ගන්න.
මේ පනතේ ප්‍රධාන වචනය තමයි තහනම් ප්‍රකාශන. මොනවද මේ තහනම් ප්‍රකාශ? ඒ විස්තරය කෙටුම්පතේ 12,13,14 වගන්ති වල සිට 23 වගන්තිය දක්වා තියෙනවා. මේ කියන විදියට අසත්‍ය ප්‍රකාශ තහනම් වෙනවා. යම් ප්‍රකාශයක් සත්‍යයද අසත්‍යයද කියලා තීරණය කරන්නේ ජනාධිපතිගේ රූකඩ කොමිසම. මොකද ඒ ගොල්ලෝ දෙවියන් වහන්සේගේ දේව දූතයොද? අනෙක මේකේ තියෙනවා ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට හානිකර ප්‍රකාශ තහනම් කියලා. මෙපමණ කලක් ජාතික ආරක්ෂාවට හානිකර වුණේ පාස්කු ප්‍රහාරය දැනගෙනත් ඒක වෙන්න ඉඩ ඇරපු දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් වගේ කොටස්ද, නැතිනම් සමාජ මාධ්‍ය වල ඒ ගැන ලියපු තරුණ තරුණියොද? මහජන සෞඛ්‍යයට ලොකුම තර්ජනය බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මරණ, ඖෂධ ගැන දත්ත මකන මාෆියාවද? නැතිනම් ඒ ගැන ෆේස්බුක් එකේ ලියන අයද? මේකේ තියෙනවා රජයට එරෙහිව කැරළි ගැසීමට තුඩුදෙන ප්‍රකාශන තහනම් කියලා තියෙනවා. ඒ ප්‍රකාශය මත පදනම්ව කැරැල්ලක් ඇති වුණොත් අවුරුදු 5ක් හිරේ. කැරැල්ලක් ඇති නොවුණත් අවුරුදු 3ක් හිරේ. මේවා පුදුම විහිළු. මේ කියන විදියට ආණ්ඩුව කරන කිසිදෙයක් ගැන ලියන්න කියන්න බෑ. ඇයි මේ ගොල්ලෝ කරන දේවල් ඇහුවම කැරළි ගහන්න හිතෙනවනේ. රජයට එරෙහි ප්‍රකෝපකාරී පෙලඹවීම් එන ඒවත් ලියන්න බෑලු. ප්‍රකෝපකාරී පෙලඹවීම් එන ඒවනේ මේ ගොල්ලෝ කරන්නේ. ඒකට මොකද කරන්නේ?
අපි මේ ඔක්කොම සංයුක්තව බලන්න ඕන. එහෙන් පාරට බැහැලා බෝඩ් එකක්වත් අල්ලාගෙන ඉන්න බැරිවෙන විදියට ත්‍රස්ත විරෝධී පනත් ගේනවා. ඒ මදිවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල කට වහන්න විකාශන නියාමන කොමිෂන් පනත් ගේනවා. මේ හදන්නේ සමාජ මාධ්‍යයක හෝ අදහස් දක්වන අයව දඩයම් කරන්න පනතක් ගේන්න. ඒ අතර පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ආයෝජන බැංකු කණ්ඩායමක සාකච්ඡා සභාවකදී හිටපු මහ බැංකු අධිපති, රනිල්ගේ න්‍යායාචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියලා තියෙනවා මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නනම් මැතිවරණ තියන්න එපා කියලා. මේ ගොල්ලෝ හදන්නේ මැතිවරණ නොතියා බලෙන් පාලනය කරන්න. එතකොට ජනතාව නැගිටලා අරගල කරලා මේ ගොල්ලන්ව කණෙන් අල්ලලා එලියට දායි කියලා බයේ මේ නීති ගේන්නේ. මේවා පාර්ලිමේන්තුවෙන් පරදවන්න බෑ. පාර්ලිමේන්තුවට පිටින් ජනතා බලයක් හදලා විතරයි මේ මර්දන නීති පරදවන්න පුළුවන්. ඒ සඳහා එක්වෙමු. පුළුල් මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරමු.

About The Author