Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සතොසේ ලොක්කෝ සුදුළූණු කන්ටේනර් දෙකක් පොඩි කරයි – ඇමති බන්දුල හරහට හිටී

තවත් මෙවැනිම වංචා ගැන සැකයක්

ආනයන කරුවන්ට ලබා නොදී සහ ඔවුන් විසින් වරායෙන් නිදහස් කළ නොගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා නිදහස් කොට ජනතාවට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ පවතින ආහාර හිඟය සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් මෙලෙස සතොස වෙත නිදහස් කර ගන්නා භාණ්ඩ වංචනික ලෙස වෙනත් පාර්ශවයන්ට අලෙවි කොට ලාභ ඉපයීමේ ජාවාරමක් පිළිබඳ මේ වන විට කරුණු හෙළිව තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගියදා වරායෙන් නිදහස් කරගත් සුදුළූණු බහාලුම් 02ක් තුන්වන පාර්ශ්වයක් ලෙස අලෙවි කිරීම පිළිබඳ කරුණු හෙළි වීමත් සමඟයි.

අදාල බහලුම් වල ඇති සුදුළූණු කල් ඉකුත් වී ඇති බව පවසමින් ඉතා වංචනික ලෙස අඩු මිලකට මෙලෙස තුන්වන පාර්ශවයකට අලෙවිය කොට තිබෙනවා,

රුපියල් කෝටි ගණනක් වටිනා මෙම සුදුළූණු බහාලුම් 02ක තුන්වන පාර්ශවයකට අලෙවි කර ඇති බවට කරුණු සමාජගත වීමත් සමග වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහලින්

වරාය අධිකාරියෙන් සතොසට ලබා ගත් සුදුළූණු බහාලුම් 02ක් තෙවන පාර්ශ්වයකට ලබා දීම සම්බන්ධයෙන් ඇමති නියෝගයෙන් පරීක්ෂණයක්..

වගකිවයුතු නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමටත් ඇමතිගෙන් නියෝග..

මෙරටට ආනයනය කිරීමෙන් පසුව ආනයනකරුවන් විසින් වරායෙන් මුදා නොගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අළෙවිසැල් ජාලය හරහා පාරිභෝගික ජනතාවට සහන මිළට ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී.

ඒ අනුව මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අළෙවිසැල් ජාලයට නිකුත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොස ආයතනය වෙත ලබා ගත් සුදුළූණු බහාලුම් 02ක්, සතොස ඉහළ කළමණාකාරිත්වයේ කිසිදු අනුමැතියකින් තොරව ඊයේ දිනයේදී තෙවන පාර්ශ්වයක් වෙත අළෙවි කර තිබේ.

පාරිභෝගිකයා වෙත සහනදායී මිළගණන් යටතේ භාණ්ඩ සැපයුම් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උපරිම ශක්‍යතාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින මෙම අවස්ථාවේදී මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබූ නිලධාරීන්ගේ රාජකාරී තහනම් කිරීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කරන ලද අතර මෙම සුදුළූණු බහාලුම් 02 තෙවන පාර්ශ්වයකට අළෙවි කිරිම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් ලබා දෙන මෙන් ද අමාත්‍යවරයා සතොස සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කරන ලදී.

එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන මෙන් ද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස සභාපති වෙත උපදෙස් ලබා දෙන ලදී.

මාධ්‍ය ඒකකය,

වෙළෙඳ අමාත්‍යාංශය.

කෙසේ වෙතත් කැබිනට් තීරණයකට අනුව නිදහස් කරනු ලබන භාණ්ඩ මේ අයුරින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් වෙනත් පාර්ශවයන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මේ වන විට මතුව තිබෙනවා.

About The Author