මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි.
සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය
ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය.
ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ 1986.02.10 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳීමත් සමගය.
ඉන්පසුව 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන ඔහු පසුව මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට යවන ලදී.
එලෙස ආරම්භ වෙන ඔහුගේ පොලිස් දිවියට වසර 34කි. ආධුනික උප පොලිස් පරීක්ෂකයෙකු සේ සේවයට බැඳී ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා සේවයේ ඉහළට ඔහු ගමන් කරන්නේ දක්ෂතාවය සහ සුපිළිපන්භාවය නිසා ය.
ඔහුට කැලැල් සහිත පොලිස් ජීවිතයක් තිබුණේ නැත. අපි සාමාන්‍ය බාසාවෙන් කියන්නා සේ ඔහු ජරාව කාපු පොලිස් නිළධාරියෙක් නොවේ. එනිසාම ඔහුට ඔහුගේ රාජකාරි ජීවිතය තුළ නොයෙකුත් අපහසුතාවලට සහ දේශපාලන පළිගැනීම් වලට, කෙනෙහිලිකම් වලට ලක්වන්නට සිදුවී ඇත.
ප්‍රශස්ථ පරීක්ෂකයා !!
මෑත දශකයේ අපි ශානි අබේසේකර හඳුනන්නේ රෝයල් පාක් මිනිමැරුමේ විමර්ශන ප්‍රධානියා ලෙසටය.
භාරත ලක්ෂ්මන් ඝාතන පරීක්ෂණයේ ප්‍රධානියා ලෙසටය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට නීතිය ක්‍රියාත්මක කළ, ඔහුගේ නීතියට පටහැනි ක්‍රියාවන් විමර්ශනය කළ පොලිස් නිළධාරියා ලෙසය.
මීට අමතරව පසුගිය යහපාලන ආණ්ඩුව පැවති කාලයේ ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්වුණේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ සිරගෙදර සමූහ ඝාතනය, රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීම, පාස්කු ප්‍රහාරය ආදී වූ පරීක්ෂණ නිසා ය.
මේ පරීක්ෂණ බොහෝමයක් ඔහු මෙහෙයවූවේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සේ කටයුතු කරමින් ය.
මේ බොහෝ පරීක්ෂණ නිසා පසුගිය යහපාලන කාලයේ සිට ශානි අබේසේකරට දේශපාලන බලපෑම් මෙන්නම ජීවිත තාර්ජනයන් වලට ද මුහුණ දෙන්නට සිදුවිය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම පරීක්ෂණ පිළිබඳව ඔහුට බලපෑම් කළ බව මාධ්‍යට වාර්තා විය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීමත් සමග මෙම පොලිස් නිළධාරියාට තිබුණ එම දේශපාලන බලපෑම දෙගුණ තෙගුණ විය.
දැන් එහි කුරිරු හස්තය ඔහුගේ පොලිස් සේවයට විලංගු ලා ඇත.
මුලින්ම ඔහු සීඅයිඩීයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර බවට පත් කළ අතර දැන් ඔහු තාවකාලිකව පොලිස් සේවයෙන් ඉවත් කර ඇත.
ඊට අමතරව මේ වෙනවිට ඔහු, අභූත චෝදනාවක් මුල් කරගනිමින් නඩුවක් පටලවා රිමාන්ඩ් බන්ධනාගාරයට තල්ලුකර දමා ඇත.
මහර බන්ධනාගරයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව මාධ්‍ය වාර්තා කළේ ය. ආණ්ඩුව සහ රජය ඒ අවස්ථාවේද හැසිරුණේ මේ උසස් පොලිස් නිළධාරියාට වැටෙන්න ගහන්න තමන්ට චාන්ස් එකක් ආවා විලසය.
ආණ්ඩුවකට එසේ හැසිරිය හැකි වුණත් රාජ්‍යයකට එලෙස හැසිරිය හැකිද?
එය නීතියේ ආධිපත්‍ය පිළිබඳව බරපතළ ගැටලුවක් නිර්මානය කරයි. ශානි අබේසේකර පිළිබඳව දැනට කෙරෙන විමර්ශනයන් පිළිබඳව කිසිවක් කියන්නට අදහසක් නැත.
එහෙත් නීති ගරුක පුරවැසියෙක් ලෙස පෙනෙන්නේ ඔහු දඩයම් කිරීමට යමෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කරන බවය.
එනිසා එහිම දිඟුවක් ලෙස ශානි අබේසේකර නම් පොලිස් නිළධාරියා, පොලිස් කාකි කෝට් එක අවභාවිතා කරමින් යහමින් මුදල් ඉපයූ කෙනෙක් යැයි කතාවක් හදන්නට, ඔහුට මාකඳුරේ මදූෂ් වැනි පුද්ගලයින් සමග සම්බන්ධතා තිබුණ බවට සමාජය තුළ මතයක් නිර්මානය කරන්නට පුලුවන් ය.
මෙවැනි තත්ත්වයක් තිබියදී මම ඔහුගේ කොළඹ පිහිටි නිවස සොයා ගියෙමි.
ශානිගේ බංගලාව කාකි කෝට් එක අවභාවිතා කරමින් මාලිගා හැදූ පොලිස් නිළධාරීන් ගැන ඕනෑ තරම් නීදර්ශන දෙන්නට හැකිය.
එයින් කියවෙන්නේ ඕනෑ නම් පොලිස් සේවයේදී හොඳටම ජරාව කා ඇතිතරම් මහත දෙහෙතට ශරීරයමද පවුලමද වඩවා ගත හැකි බවය.
විමල් වීරවංශ වැනි දේශපාලකයින්ගේ මාලිගාවන් ගැන මඳකට කල්පනා කරන්න, දේශපාලනයෙන් හරි හම්බ කිරීමේ, බඩ වඩා ගැනීමේ සාහිත්‍ය එතරම්ම පුලුල් ය.
මේ කල්පනාවන් සමග මම ශානි අබේසේකර කියන පොලිස් ලොක්කාගේ ගෙදර සොයා ගියෙමි. අහෝ..! වර්ග අඩි 550ක කොටුවක් අස්සේ ඔහු සහ ඔහුගේ බිරිඳ, දරුවන් ජීවත් වෙමින් ඇත.
මේ හුංඩු ගේ අස්සේ කැමරාව හෝ තබා ගන්නට ඉඩක් නැත. සාලයේ පසෙක මේසයකි. දරුවන්ගේ අධ්‍යාපන වැඩ එහි වෙන බව පසක් වෙයි. ඒ හතර කොටු සාලයේ එක පැත්තක පරණ පන්නයේ වීදුරු කබඩයකි.
එහි ඉහළ හිස මත ශානි අබේසේකරගේ නෙක ඡායාරූප වෙයි.
කුස්සිය මෙන්ම මේ වර්ග අඩි 550 තුළ නිර්මිත නිදන කාමරද ඉඩ ඇහිරුණු කොටු පවුරුය.
වංචාවට දූෂණයට සිය භාවිතාවෙන්ම විරුද්ධවූ දක්ෂ පොලිස්කාරයෙක්ගේ ගෙදර මේ ආකරයෙන් නොවී වෙන කුමන ආකාරයක් ගන්න ද? මම සිතමි.
වී එයිට් වර්ගයේ වාහන පැදගෙන යන්න තරම් වාසනාවන්ත දරුවන් සමහර උසස් පොලිස් නිළධාරීන්ට සිටින විට ශානි අබේසේකරගේ දරුවන්ට කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේ මී ගුලක සිරවන්නට සිදුවන්නේ ඇයි?
ඒ වංචාවෙන් දූෂණයෙන් ධනය පොදි ගසාගන්නා පොලිස් නිළධාරියෙක් ලෙස නීතියට පිටතින් ශානි අබේසේකර කටයුතු නොකළ නිසා ය.
බිරිඳගේ කතාව
කේ .එස් අබේසේකර, ශානි අබේසේකරගේ ප්‍රිය බිරිඳ, මා ඇය සමග කතා කළේ ය.
ඇය ඡායාරූප ගන්නවාට විරුද්ධ ය. ඒ ඔවුන් වර්තමානය තුළ බියෙන් සහ චකිතයෙන් කල් ගත කිරීම නිසා ය.
හෙට කුමක් වෙයිද? ඔවුන් බරපතළ අවිනිශ්චිතතාවයක කරවටක් ගිලී සිටියි.
” අපි අත්අඩංගුවට ගත්ත මුල් කාලේ ශානිව බලන්න යනකොට සමහර දවසට බලන්න දුන්නේ නැහැ. කීප දවසක්ම හැරිලා ආවා. මේ කාලෙටම දවස් 3ක් විතර තමයි බලන්න ලැබුණේ.
ඔහු හරියට රාජකාරිය කළා, ගෙදර ගැන, ළමයි ගැන පවා බැලුවේ මම. ඔහුට ඒවටවත් වෙලාවක් තිබුණේ නැහැ. එහෙම නිවැරදිව රාජකාරි කරපු නිසා තමයි අද අපි මේ සේරම කරදර විඳින්නේ.
ගාල්ලට මාරු කරලා එහේ වැඩ කරනකොට නේ රස්සාව නැතිවුණේ, ඒ රස්සාව නැතිවුණ දවසෙම කෝල් එකක් ඇවිත් තිබුණා, උබේ ගෑනියි ළමයිනුයි මරලා උබේ කරපිටින්ම තමයි යවන්නේ කියලා.
ඉතිං අපි හරි බයෙන් තමයි ඉන්නේ. වාස් ගුණවර්ධනගේ කේස් එක නිසා මුල ඉදලාම තර්ජන තිබුණා.
මාකඳුරේ මදූෂ් ගේ කේස් එකටත් සම්බන්ධ කරලා මොන ප්‍රශනයක් දායිද කියලාත් අපි බයයි.
කොළඹ අපරාද කොට්ඨාශයට අනියුක්ත පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ශානිට විරුද්ධව බොරු සාක්ෂි ලබාදෙන්න කියලා බලපෑම් කරලා තියෙනවා කියලා අධිකරණයටත් කරුණු ඉදිරිපත් වුණා.
ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අන්තර්ජාල වෙබ් අඩවියකට කරලා තිබෙන ප්‍රකාශයත් සැකසහිතයි.
මේ දේවල් නිසා අපිට ඇත්තටම බයයි ශානිගේ ජීවිතය ගැන” වින්දිතයන් හට යුක්තිය ලබාදීමට වෙහෙසුන පොලිස් නිළධාරියෙක්ගේ බිරිඳකට අද මාධ්‍ය ඉදිරියට පැමිණ කරන්නට සිදුවී තිබෙන කතාව මේකය. මෙයින් පෙනෙන්නේ ලංකා රාජ්‍යය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසී ඇති ආකාරය නොවේද? ”
අපි 1994 තමයි කොළඹට ආවේ. වර්ග අඩි 550යි මේ ගෙදර.
මෙහෙම ඉඩක අපි හිරවෙලා ජීවත්වුණත්, ශානි ගැන මට මගේ දරුවන්ට ගොඩක් සතුටු වෙන්න පුලුවන්, ඒ ඔහු හරියට රාජකාරිය කළා කියලා.
ශානිට කෝවිඩ් හැදිලා කියලා, පොලොන්නරු ගෙනිච්චා කියලා, වැලිකඩට ගෙනාව කියලා, ඊට පස්සේ අයිඩීඑච් එකට ඇතුල් කළා කියලා අපි දැන ගත්තේ මීඩියාවලින්. ඒක තමයි ඇත්ත.
අපිට පොලීසිය හරි බන්ධනාගාරය හරි වඟකිවයුතු කවුරුවත් කිසිම දෙයක් කියන්නේ නැහැ.
බලන්න හෝ හමුවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මාස දෙක තුනකින් කතා කරලා නැහැ” මේ අවස්ථාවේ පොලීසියේ සමහර ශානි අබේසේකර සමග එකට රාජකාරි කළ නිළධාරීන්ද අහක බලාගෙන සිටින බව දැනගන්නට ලැබෙයි. “පොලිසියේ කොටසක් නම් අපි එක්ක කතා කරන්නවත් කැමති නැහැ.
එකට වැඩ කරපු අයම පහර ගහනවා. ආණ්ඩු මාරුව එක්ක බයක් තිබුණා. මට මෙහෙම දේවල් වෙන්න පුලුවන් කියලා එයා මාත් එක්ක කියලා තියෙනවා.
ඒත් ඔහු නිතරම කිව්වේ “අපි හරි දේ කරලා තියෙනවා ඇයි බයේ රටින් පැනලා යන්නේ” කියලා.
හරි දේම පමණක් කළ ශානි අබේසේකර වෙනුවෙන් රාජ්‍ය සේවකයින් වාගේම පුරවැසියාද පෙරට පැමිණිය යුතුය. ඔහු රාජකාරි කර තිබෙන්නේ රාජ්‍යය වෙනුවෙන් ය. එහි නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් ය. යුක්තිය වෙනුවෙන් ය. එනිසා ඔහුව දේශපාලකයින්ගෙන් ආරක්ෂා කරගැනීම රාජ්‍යයේ වාගේම පුරවැසියාගේද වඟකීමය.
© කේ. සංජීව
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?