Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍ය ආචාර ධර්ම රැකීමට බැරි GMOA දොස්තරලාගේ මාධ්‍යය ආචාරධර්ම පාඩම

මහා ඛේදවාචකයකට රට මුහුණ දී ඇති මොහොතක සියලු ජනතාව සිටින්නේ තම ජිවිත පිළිබඳ දැඩි අවිනිශ්චිත බවකට මුහුණ දෙමිනි.

එවන් වට පිටාවක් තුළ රටේ සියලු ජනතාව විස්වාස තබන්නේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල පිළිබඳවයි.

එමෙන්ම මේ වන විට පොලිසිය ත්‍රිවිධ හමුදාව, ග්‍රාම නිලධාරීන්ගේ සිට නගරසභා වල පවිත්‍රතා කම්කරුවා දක්වාම විරෝධාර මිනිසුන් තම ජීවිතයත් තම පවුල් වල අඹුදරුවන්ගේ ජිවිතත් අභියෝගයට ලක් කරමින් රටක් සුව පත් කිරීම වෙනුවෙන් සිදු කරන අපරමිත කැප කිරීම අතිමහත්ය.

එවන් වට පිටාවක කිසිදු පිළිවෙලක් නැති ඈත භූත වී ඇති ලංකාවේ එන්නත් කරන වැඩ පිළිවෙල හරහා ලබා දෙන එන්නත් ඉහත සඳහන් කළ ඉදිරිපෙළම සිටිමින් කොරෝනා මර්ධන කාර්ය සඳහා දායකවන සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ඔවුන්ගේ පවුල්වල අයට ලබා දුන්නාට මෙරට කිසිදු පුරවැසියෙකු එරෙහි නොවනු ඇත.

නමුත් ඉදිරිපෙළ සිටිමින් සේවය කරන සෙසු සෞඛ්‍ය කාර්යමණ්ඩල සියල්ල අත හැර තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් එන්නත් පැහැර ගනිමින් යමෙකු කටයුතු කරනවා නම් එය මිනීමරු පන්නයේ අසික්කිත වැඩකි.

ඊටත් වඩා අසික්කිත කරුණ වන්නේ ඉදිරිපත් කර ඇති අල්ලේ පැලවෙන බොරු තොරතුරුය.

එන්නත් පැහැර ගැනීමේ කාර්යයේදී ඒ සඳහා තම පවුල්වල සාමාජිකයන්ගේ තොරතුරු ඉදිරිපත් කර ඇති අයුරු ජුගුප්සා ජනකය.

ඇතැම් අයට බිරින්දෑවරු දෙකකි. සැමියන් දෙක තුනකි. ජාතක කල අම්මලා දෙදෙනෙකි,නැන්දම්මලා මාමණ්ඩිලාගේ සංඛ්‍යා දත්තත් එහෙමය.

රටේ එන්නත්කරණ ක්‍රියාවලියෙන් එන්නත් පැහැර ගැනීමෙන් නොනැවතී ඒවා සුද්ද කිරීමට වහසි බස් දොඩවන ආකාරය ඊටත් වඩා ජුගුප්සා ජනකය.

එයටත් වඩා කැත සහ අවලස්සන වැඩේ ඉහත කිසිවක් නොවේ මේ සියලු චෝදනා වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම සුරකින්නට “හිපොක්‍රටිස් දිවුරුම” ලබා දුන් වෛද්‍යවරුන් වෙත එල්ල වීමය.

එයටත් වඩා පුදුමය රටේ අධ්‍යාපන, ආර්ථික,දේශපාලන, සමාජ, ආගමික ඇතුළු සියලු අංශ පිළිබඳ සියල්ල දත් පිරිසක් සේ සමාජයේ හැසිරෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) මෙම චෝදනාව එල්ල වීමය.

මේ සියල්ල මැද එල්ලවන චෝදනා වලට ලබා දෙන පිළිතුරු තව දුරටත් අදාළ සංගමයේ යථා ස්වභාවය සමාජයට නිරාවරණය කර තිබේ.

රටේ මහා ව්‍යසනයක් මැද රජයේ වෛද්‍ය නිලධාරීන් කළ මේ අශෝබන ක්‍රියාව මාධ්‍ය මගින් හෙළි කිරීම ඔවුන්ට අනුව අප නොකළ යුත්තකි.

මේ මොහොතේ ඒවා නොසලකා හරිය යුතුය. මාධ්‍ය හරහා Hit කලයුත්තේ ඒවා නොවන බව ඔවුන් මාධ්‍යයට කියා දෙයි.

ඔවුන් ජනතාවට දුන් පණිවිඩය මාධ්‍ය මගින් ජනතාවට ලබා නොදුන් බවත් ඒ වෙනුවට මාධ්‍ය ජනතාව වෙත රැගෙන ගියේ තමන්ගේ එන්නත් කරන කතාව බවත් ඔවුන් කියයි.

“අපි දිවි පරදුවට තබා වැඩ කරනවා. අපේ පවුල් අනතුරේ, ඒ වගේම අපිට සංගමයක් තියනවා. අපි ඒ ඔක්කොම බලන්න ඕන” යයිද ඔවුන් පවසයි.

ඔවුන්ට වෘත්තීය සමිති අටවාගන්නට රටේ ජනතාව කිවේ නැත,

ඒවායේ සමාජිකත්ව ප්‍රවර්ධනය වෙනුවෙන් අහස පොලොව නුහුලන අපරාධකාරී ක්‍රියාවන් සිදුකරන්නට කවුරුත් කිවේ නැත.

ඒ අනුව ඔවුන් සිදු කළ එන්නත් පැහැර ගැනීමේ අවලස්සන ක්‍රියාව රටට හෙළිකිරීම හරහා මාධ්‍ය සිදු කර ඇත්තේ ඔවුන්ගේ දැනුමේ බුද්ධියේ හැටියට අශිෂ්ඨ ක්‍රියාවකි.

අනෙක් අතට ඔවුන් දන්නා පරිදී දේශපාලකයන්, තවත් වෘත්තීය සමිති නායකයින් පවුල් පිටින් පෝලිම් පැන එන්නත ගසාගෙන තිබේ.

තවත් වෘත්තීය සමිති නායකයෙක් තම පක්ෂ කාර්යාලයටද එන්නත් ලබා දී ඇති බව‍ට තොරතුරු ඇති පවසන ඔවුන් සඳහන් කරන්නේ මේ මොහොතේ ඒවා හාරා අවුස්සනවාට වඩා රටට වෙන වැදගත් වැඩ ඇති බවයි.

මේ ප්‍රකාශ හරහා පෙනී යන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයින් රටේ වර්තමාන ප්‍රමුඛ කාර්යභාර්යයවත් හරි හැටි අවබෝධ කරගෙන නැති බවයි.

ජනාධිපතිවරයාගේ සිට රටේ සියලුම දෙනාගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලිය වෙතයි.

එම එන්නත් කරන ක්‍රියාවලිය මැදට පැන යමෙකු හෝ යම් සංවිධානයක් මංකොල්ලකාරී ලෙස කටයුතු කරන්නේ නම් එය රටේ ප්‍රමුඛතම පුවතක් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දොස්තර මහත්වරුන් දන්නේ නැත.

අනෙක් අතට ඔවුන් පවසන පරිදි එන්නත්කරණ ක්‍රියාවලිය තුළ සිදුවූ බරපතල විෂමාචාර ඔවුන් වසන් කර තිබේ.

සියල්ල දන්නවා යැයි සිතා කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දොස්තර මහත්වරුන්ට වෛද්‍ය වෘත්තියේ ආචාරධර්ම අමතක වී, තමන්ගේ වරද වසා ගැනීමට මාධ්‍ය වෘත්තියේ ආචාර ධර්ම සිහිපත් වීම නම් විහිලු සහගතය.

එමෙන්ම මෙම අශෝභන හැසිරීම මුළුමහත් වෛද්‍ය වෘත්තියටම නිගාවකි.

අනෙක් අතට මෙවැනි තීරණාත්මක මොහොතක රටේ එන්නත්කරණ ක්‍රියවලිය අයාලේ යනවා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ඉරණම ගැන කවර කතාද?

© මී මැස්සා

About The Author