Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෛද්‍යවරුන් පුදුමයට පත් කළ රෝගීන් (1)

1.නැති වූ අක්ෂි කාචය කෝ?

ඔබ ඇස් කණ්ණාඩි භාවිත කරන්නෙක් ද? පැරැණි කාලයේ ආච්චිලා සීයලාත්, අම්මලා තාත්තලාත් ඇස් කණ්ණාඩි භාවිත කළ බව සැබෑවකි. එහෙත් 21 වන සියවසට අයත් නූතන පරපුරේ ඔබ අප හැම විට ම පැලඳීමට උත්සාහ දරන්නේ ඇස් කණ්ණාඩි නොව අක්ෂි කාච ය. මෙයට හේතු කිහිපයකි. පළමුවැන්න පෙනුම යි. දුර්වලතාව කුමක් වුවත්, එය තාවකාලික වුවත් සදාකාලික වුවත් ඇස් කණ්ණාඩි යුගලක් පැලඳූ විට සෑම කෙනෙකුගේ ම මුහුණ එක හා සමාන ලෙස අලංකාර නොවේ. ඇතැම් යොවුන් වියේ පසුවන්නන් වසර ගණනාවකින් මහලු බවට හැරවීමට ඊට පුළුවන. ඇතැමුන්ගේ මුහුණට එය ඉතා අවලස්සන ය. දෙවන ‌හේතුව වන්නේ පහසුව යි. ඇස් කණ්ණාඩි යුගලක් මුහුණේ රඳවා තබා ගැනීම යනු සැහැල්ලු ශරීරයකට ඉතා අපහසු කටයුත්තක් බව දන්නෝ දනිති. එය ගලවා තැබූ විට නැවත සොයා ගැනීම යනු ඊට ද වඩා අපහසු කටයුත්තකි. මුදල් අතින් ගත් විට ඇස් කණ්ණාඩියටත් අක්ෂි කාචවලටත් යන වියදමේ එතරම් වෙනසක් නොමැත. ඇස් කණ්ණාඩිවලින් අක්ෂි කාචවලට මාරු වූ විට අන්‍යයන්ගේ උසුළු විසුළුවලින් ද මිදිය හැකි වේ. එහෙයින් පාසල් සිසුහු පවා අක්ෂි කාච පැලඳීම වඩා සුදුසු කොට සලකති.

මෙලෙස අක්ෂි කාච පැලඳි එංගලන්තයේ ජීවත් වූ එක් පාසල් සිසුවියක් දිනක් සිය යහළුවන් සමඟින් බැඩ්මින්ටන් ක්‍රීඩාවෙහි යෙදී සිටියා ය. එකවර පිත්තෙහි වැදුණු ෂට්ල්කොක් එකෙහි බෝලයක් වැනි තද කොටස විසි වී අවුත් ඇයගේ වම් ඇසෙහි වැදිණි. මඳ අපහසුතාවක් දැනුණත් ඇසට හානියක් වූ බවක් නොපෙනුණු හෙයින් ඇය එය නොසලකා හැරියා ය. සවස නිවසට ගොස් ඇසෙහි පලඳා තිබූ කාච දෙක ඉවත් කිරීමට උත්සාහ ගැනීමේ දී ඇයට පෙනී ගියේ බෝලය වැදුණු වම් ඇසෙහි කාචය අතුරුදහන් ව ඇති බව යි. කලබල වී ඇඳුම්වලත් සිරුරේ සෑම තැනකමත් පමණක් නොව, යහළුවන්ට පවා කතා කොට සොයා බැලූ නමුත් කාචය දක්නට නොලැබිණි. දින කිහිපයකින් එය අමතක කොට දැමූ ඇය නව කාචයක් මිළට ගත්තා ය. ඒ වයස 14 දී ය.

වසර ගණනාවක් ගෙවී ගියේ ය. ඇය 42 වන වියටත් එළඹිණි. හදිසියේ වම් ඇසෙහි හටගත් තදබල වේදනාවකින් පෙළෙන්නට වූ කාන්තාව මුලින් සිතුවේ එය තම ඇස් රෝගයේ ම දිගුවක් බව යි. එහෙත් දිගින් දිගට ම නැඟුණු වේදනාව දරාගත නොහැකි වූ අතර ඇසේ ඉහළ ප්‍රදේශයෙන් කිසියම් ඉදිමීමමක් ද අතට දැනිණි. එබැවින් ඇය ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු කරා ගියා ය. එහි දී දැන ගන්නට ලැබුණේ කාන්තාවගේ ඇහිබැමෙහි කිසියම් ගෙඩියක් හටගෙන ඇති බවත් එය වහාම ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු බවත් ය. ශල්‍යකර්මය ආරම්භ විය. අදාළ කොටස කපා බැලූ විට වෛද්‍යවරුන්ට දැක ගන්නට ලැබුණේ පුදුමාකාර දසුනකි. ඇගේ ඇහි බැම ඇතුළත අක්ෂි කාචයක් සිර වී තිබිණි. ඒ මතින් මස් වැදලි ද වැඩී තිබුණු අතර, කුමක්දැයි සහතික කර හඳුනා ගැනීම උදෙසා බොහෝ සැලකිලිමත් වීමට සිදු විය. අවසානයේ දී නිගමනය කෙරුණේ දැනට වසර තිහකට පමණ පෙර ෂට්ල්කොක් එක වැදුණු අවස්ථාවේ දී කාචය තල්ලු වී ඉහළට ගොස් ඇහි බැම අතර සිර ව තිබූ බව ය. වේදනාවක් නොදැනුණු හෙයින් ඇය ඒ පිළිබඳ එතරම් සැලකිලිමත් වී නැත. එහෙත් වසර තිහක් මුළුල්ලේ කාචය තිබී ඇත්තේ කාන්තාවගේ සිරුර තුළ ම ය.

2. දිලීර සුව කිරීමට හොඳ ම ප්‍රතිකාරය කුමක් ද?

දිනක් එංගලන්තයේ ජීවත් වූ මැදිවියේ කාන්තාවක දුටුවේ ඇගේ පා ඇඟිලිවලත් විශේෂයෙන් මහපට ඇඟිල්ල පුරාත් කිසියම් දිලීරයක් පැතිර ගොස් ඇති බව යි. ඉඩපාඩු ඇති වේලාවක් බලා වෛද්‍යවරයෙකු කරා ගොස් රෝගයට ප්‍රතිකර්මයක් කර ගනු වෙනුවට ඇය, නිවසේ සිට ම අත් බෙහෙතක් කර බැලීමට සිතුවා ය. සිය මිත්තණියගෙන් උගත් එම ප්‍රතිකර්මය ඉතා පහසු විය. කළ යුතු ව තිබුණේ නිවසේ එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා සුදුලූනු බික් කිහිපයක් ගෙන, තලා, කකුලේ බැඳීම පමණි. මිත්තණිය කී පරිදි මසක් ගත වන විට දිලීරය සුව වනු ඇති බවත්, පාදය පෙර තිබුණාටත් වඩා අලංකාර වනු ඇති බවත් ඇය සිතුවා ය.

එහෙයින් ඇය දිනකට පැය හතර බැගින් දින තිහකට ආසන්න කාලයක් නොකඩවා සුදුලූනු ප්‍රතිකාරය සිදු කළා ය. සතියෙන් සතිය සැලකිලිමත් ව බලන කල ඇයට පෙනී ගියේ අදාළ දිලීරය මඳින් මඳ සුවපත් වන බව ය. අතිශය සතුටට පත් ව සිය මිත්තණියගේ හැකියාව පිළිබඳ අසල්වාසීන් හා උදම් ඇනුව ද පාදයේ කිසියම් ගැටලුවක් ඇති බව ද ඇයට දැනෙමින් තිබිණි. ප්‍රතිකාරය අවසන් ව දින කිහිපයක් ගත වන විට කාන්තාවගේ පාදය දැවී ගිය ස්වභාවයක් පෙන්නුම් කරන්නට වූ අතර දරා ගත නොහැකි වේදනාවකින් ඇදුම්කන්නට ද විය. තවදුරටත් බල බලා සිටිය නොහී ඇය වෛද්‍යවරයෙකු කරා ගිය විට දැන ගන්නට ලැබුණේ පාදයේ සම පිළිස්සී ඇති බව යි. වැඩි දුරටත් කරුණු විමසීමේ දී පෙනී ගියේ සුදුලූනුවල අන්තර්ගත වන “ඩයිඇලිල් ඩයිසල්ෆයිඩ්” නමැති සල්ෆර් සංයෝගය සිරුරේ චර්මය සමඟ ප්‍රතික්‍රියා කර ඇති අතර එමඟින් සම පිළිස්සීමකට ලක් ව තිබෙන බව යි.

එම ගැටළුව විසඳීම පිණිස බොහෝ ප්‍රතිකර්ම කිරීමට සිදු වූ අතර, සදාකාලික කැළැලක් ද ඉතිරි විය. එහෙත් මුල් අවස්ථාවේ දී ම දිළීර සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේ නම් එම රෝගය කිසියම් ආලේපනයක් ගැල්වීම වැනි සුළු ප්‍රතිකර්මයකින් ම සුව කර ගැනීමට හැකියාව තිබිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author