ප්‍රසිද්ධ පුද්ගලයින් හා ඇතැම් විට ඔබ පවා ඡායාරූපයක් ගැනීමේ දී අතෙහි දබර ඇඟිල්ල හා මැද ඇඟිල්ල ඉංග්‍රීසි “වී” අකුරේ හැඩයට සිටින සේ ඔසවා පෙන්වන සංකේතය “වික්ටරි” හෙවත් ජයග්රණයේ සංකේතය යැයි ඔබ සිතා සිටියා ද? සංකේතයක් වශයෙන් එය වැඩි වැදගත්කමක් ඉසිලුවේ වියට්නාම යුද්ධයේ දී ය. එනමුත් 1960 වසරවල දී අදාළ සංකේතය භාවිත කෙරුණේ අනිවාරතයේ මරා දමන ලද ජනතාවගේ මළ මිනී මතින් සැමරෙන ජයග්‍රහණයේ සංකේතයක් වශයෙන් නොව සාමයේ සංකේතයක් ලෙසිනි.
ගෙවී ගිය දෙසැම්බරයට උතුරු වියට්නාමයේ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ (වියට් කොන්ග්රසය) පිහිටුවා වසර 40කි. 1955 නොවැම්බර් මස පළමුවනදායින් ආරම්භ වූ වියට්නාම යුද්ධය අවසන් වූයේ 1975 අප්‍රේල් 30 වන දින ය. ඒ වන විටත් යුද්ධයෙන් උතුරු වියට්නාම ජාතිකයින් 182,000ක් පමණ සහ දකුණු වියට්නාම ජාතිකයින් 430,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබිණි. යුද්ධය අවසානයේ දී උතුරු වියට්නාමය සහ වියට් කොන්ග් / පී.ආර්.ජී.වරු ජයග්‍රහණය ලැබූහ. ඒ අනුව එක්සත් ජනපද සභාග හමුදා වියට්නාමයෙන් ඉවත් කර ගැනුණු අතර උතුරු කොමියුනිස්ට් හමුදා දකුණු වියට්නාමය, කාම්බෝජය සහ ලාඕසය තුළ බලය අල්ලා ගත්හ. සරණාගත අර්බුදය ආරම්භ වූ අතර කාම්බෝජ ජන සංහාරයේ ආරම්භය මෙන් ම තුන්වන ඉන්දුචීන යුද්ධය ද ඇරඹිණි. මෙතුවක් භෞමික වෙනස්කම් අනුව උතුරු හා දකුණු වියට්නාමය ලෙස බෙදී සිටි ජාතීන් ද්විත්වය, එක ම වියට්නාම සමාජවාදී ජනරජයක් තුළට නැවත ඒකාබද්ධ වූහ.
යුද්ධයේ අතුරු ඵල.
එය 1972 ජුනි 8 වන දින ය. වසර ගණනාවක් තිස්සේ උතුරු වියට්නාමයේ කොමියුනිස්ට් රජය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක් වූ දකුණු වියට්නාම රජය අතර ඇවිළීගෙන යමින් තිබූ යුද්ධය අවසන් අදියර කරා ළඟා වෙමින් පැවතිණි. ඒ වන විට මාර්ග අංක 1 හරහා උතුරු වියට්නාම හමුදා සයිගොන් සහ නොම් පෙන් අතර උපාය මාර්ගික සැපයුම් මාර්ගය වූ ට්‍රැං බැං ගම්මානය තුළට රිංගාගෙන සිටියහ.
දෙපාර්ශවයට ම අයත් ගුවන් යානා ඉහළින් ගොරවන විට භීතියට පත් සිවිල් වැසියන් සහ දකුණු වියට්නාම සොල්දාදුවන් පලා යමින් සිටියහ. එසේ පළා යන ජනතාව සතුරු හමුදාවන් ලෙස වරදවා වටහාගත් දකුණු වියට්නාම ගුවන් නියමුවෙකු, ඔහුගේ යානය සතුව තිබූ නැපල්ම් නමැති ප්‍රහාරක දියරය එම ජනතාව මතට මුදා හැරියේ ය. හාවඩ් රසායනඥයින් විසින් වැඩි දියුණු කරන ලද පෙට්‍රල් සහ ඇලුමිනියම් ලවණවල එකතුවක් වූ එම නැපල්ම් ජෙලි වර්ගය ඉක්මවා යාමට කිසිවෙකුගේ ශරීරයකට නොහැකි විය. නැපල්ම් ජෙලි ගොන්න පළා යමින් සිටි මිනිසුන්ගේ සමට ඇලී සිටි අතර ඒ සියලු දෙනා දරුණු අන්දමින් පිළිස්සීමට ලක් වූහ.
යුද්ධයක් අතරතුර පළා යන දරුවන් කිහිප දෙනෙකු සිටින ඡායාරූපය ඇතැම්විට ඔබ දැක ඇත. එහි ඉදිරියෙන් ම සිටින්නී කිම් ෆුක් ය. මේ වන විට ඇය සිය සැමියා හා දරුවන් දෙදෙනා සමඟ කැනඩාවේ විසුවත්, අදාළ ප්‍රහාරය හේතුවෙන් ඇය තවමත් දුක් පීඩා විඳින්නී ය. අදටත් ඇය සිය වේදනාව අඩු කර ගැනීම පිණිස වරින් වර ශල්‍යකර්මවලට ලක් වන්නී ය. ඡායාරූපය ගන්නා අවස්ථාවේ කිම්ට වයස අවුරුදු නවයක් විය. රූපය දෙස බැලීමේ දී ඇය නිරුවතින් දිව එන බව පෙනේ. දෑත් වේදනාවෙන් ඉවතට විසි කරන්නී ය. ඇගේ මුහුණ අවුල් සහගත ය, විලාප දෙන බවක් පෙනේ. “මට ගොඩක් රස්නෙයි! මට ගොඩක් දැවිල්ලයි! ” යනුවෙන් තමා එවෙලෙහි කෑ ගැසූ බව ඇයට තවමත් මතක ය. නැපල්ම් හේතුවෙන් සිය ශරීරය ක්‍රම ක්‍රමයෙන් පිළිස්සෙන විට ඇය ඇගේ දැවෙන ඇඳුම් ඉරා දමුවා ය. එනමුත් නැපල්ම් රසායනය කොලජන් තට්ටුව හරහා ඇගේ සම ආහාරයට ගනිමින්, ශරීරයෙන් තුනෙන් එකක් විනාශ කර දැමුවේ ය.
ප්‍රහාරයට ලක් වූ බොහෝ අය ඒ අවස්ථාවේ මිය යන්නට ඇත. එහෙත් කිම් දිවි ගලවා ගත්තා ය. පසුව ඇය යුධ විරෝධියෙකු ලෙස සිය කතාව ලොව පුරා ප්‍රචාරය කිරීමට පටන් ගත්තී ය. පළමුව ඇමරිකානු යුද විරෝධී ව්‍යාපාරය සඳහා ඇගේ දායකත්වය ලැබුණු අතර පසුව ඇමරිකානු අධිරාජ්‍ය හිංසාවන්ගේ ජීවමාන ප්‍රතිමූර්තිය සහ වියට්නාම් කොමියුනිස්ට් තන්ත්රයේ සංකේතය ලෙස කිම් ජනප්‍රිය වූවා ය.
මෙය ඡායාරූප ගත කර තිබෙන්නේ එවකට ඇසෝසියේටඩ් ප්‍රෙස්හි සේවය කළ 21 හැවිරිදි වියට්නාම ඡායාරූප මාධ්‍යවේදියෙකු වූ, නික් යූට් නමැත්තා විසිනි. අදාළ ඡායාරූපය ඇමරිකාවේ හෘදය සාක්ෂිය යලි පණ ගැන්වීය. ධවල මන්දිරයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමක දී, එවකට ඇමරිකා එක්සත් ජනපද නායකයා වූ රිචඩ් නික්සන්ට මෙය පෙන්වූ විට ඔහු සිතුවේ එය ව්‍යාජ ඡායාරූපයක් බව ය. සමහරුන් පවසන්නේ මෙම ඡායාරූපය වියට්නාම් යුද්ධයේ අවසානය ඉක්මන් කළ බවයි. එසේ විය හැකිය. යූට්ගේ පින්තූරය ලොව පුරා පැතිරී මාස හතකට පසු, පැරිස් සාම ගිවිසුම් අත්සන් කරන ලද අතර එය දකුණු වියට්නාමයෙන් එක්සත් ජනපද සටන් හමුදා ඉවත් කර ගැනීමට හේතු විය.
අහිංසක දැරිය යුද්ධයේ සංකේතයක් ලෙස.
එම පින්තූරය වැඩි වැඩියෙන් ජනප්‍රිය වන තරමට කිම්ගේ පෞද්ගලික ජීවිතයට සිදු වූ හානිය ද වැඩි විය. ඇය “යුද්ධයේ ජාතික සංකේතයක්” ලෙස හඳුනාගත් වියට්නාම රජය, කිම්ට පාසලෙන් ඉවත් වීමට බල කළ අතර, ඇය වටා පවුරක් ගොඩ නඟමින් ප්‍රීතිමත් වෛද්‍ය සිසුවියක් ලෙස බවට පත් වීමට ඇය පෙළඹවූහ. වරින් වර රාජකීයයන්, අගමැතිවරුන්, රාජ්‍ය නායකයින් සහ මාධ්‍යවේදීන් හමු වීමට මෙන් ම ප්රචාරක චිත්‍රපටවල පෙනී සිටීමට ද කිම් හට බල කෙරිණි.
“ඔවුන් මට ඉස්කෝලේ යන්න ඉඩ දුන්නත් මට අවශ්‍ය තේරීම් කිරීමට නිදහසක් තිබුණේ නැහැ. මගේ සෑම තීරණයක් ම කොමියුනිස්ට් රටක් වන වියට්නාම රජයේ පාලනය යටතේ පැවතුණා. මම බිත්ති නැති සිරකරුවෙක් පමණක් බවට පත් වුණා. නැපල්ම් පිලිස්සීම්වලින් මා මිය ගියේ නෑ. නමුත් වෛරය, මිනිසුන් සිය දෑස් සහ වචනවලින් මට අතවර කිරීම වගේ දේවල්වලින් මාව නොමරා මරා දැමුවා.” කිම් පවසන්නී ය.
නිළ නොලත් සිරකරුවෙකු බවට පත් වීම ඉවසිය නොහැකි වූ හෙයින් ඇය සරණාගතයෙකු ලෙස කැනඩාවට සංක්‍රමණය වූවා ය. වසර ගණනාවක් තිස්සේ සැඟවී සිටි කිම්, 1996 දී වොෂිංටන් ඩී.සී. හි අනුස්මරණ තාප්පයේ පැවති උත්සවවල දී කථා කිරීමට එකඟ වූවා ය. ඇය මෙයට වසර ගණනකට පෙරාතුව තම මව් රට පුරා පැතිර, එය විනාශ කිරීමට උදව් දුන් සොල්දාදුවන් ඉදිරියේ පෙනී සිටිමින් ඔවුන් කළ දේට සමාව දෙන බව ප්‍රකාශ කළාය.
දිනක් ඇය සඳහන් කළේ අදාළ බෝම්බය හෙළූ ගුවන් නියමුවා සමඟ මුහුණට මුහුණ කතා කළ හැකි නම්, ඔවුන්ට ඉතිහාසය වෙනස් කළ නොහැකි බව ඇය පවසනු ඇති බවයි. අදහා ගත නොහැකි අන්දමින් සමූහයේ සිටි අයෙකුගෙන් ඇයට සටහනක් ලැබිණි.“කිම්, මම ඒ මිනිසා.” ඔහු නම්, ඒ වන විට ක්‍රිස්තියානි ආගමික පියතුමෙකු බවට පත් ව සිටි ජෝන් ප්ලූමර් ය.
දරාගත නොහැකි වරදකාරිත්වයකින් හා ලැජ්ජාවකින් යුතුව ජීවත් වූ ප්ලූමර්ගේ හෘද සාක්ෂියට අවසානයේ දී සමාව ලැබිණි. ඇත්ත වශයෙන් ම, ප්ලූමර් පහත් මට්ටමේ මාණ්ඩලික නිලධාරියෙකු බව ජනතාව අතර ප්‍රසිද්ධ විය. එහෙත් පසු කලෙක ඔහු බැල්ටිමෝර් සන්හි දී කියා තිබුණේ තමා එම නියමුවා හෝ ප්‍රහාරයට නියෝග කළ තැනැත්තා නොවන බවයි.
කවුරුන්, කුමන අරමුණ සහිත ව යුද්ධ කළත්, එයින් කවුරුන් ජයග්‍රහණය කළත්, අවසානයේ දී සිදු වන්නේ අහිංසක මිනිසුන් පීඩාවට පත් වීම පමණි. කිම්ගේ කතාව ඊට සුදුසු ම නිදසුන සපයයි. එසේ ම කොමියුනිස්ට්වාදය කෙතරම් යහපත් ලෙස පෙනුණත්, ඇතැම් ජන කොට්ඨාසයන්ට ඒ හරහා මුහුණ දීමට සිදු වන මානසික ආතතියට ද කිම් ෆුක් යනු ගැලපෙන උදාහරණයකි.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්