Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විධායක ජනපතිකම් ඉවරයි – ටිල්වින්ගෙන් තද පොරොන්දුවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බලතල පැවැරෙන, සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන අලුත් ව්‍යවස්ථාවක් ගැන දැඩිව අවධාරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26 වෙනිදා උදේ 10.00ට කෝට්ටේ මොනෑක් ඉම්පීරියල් හෝටලයේදී උත්සවාකාරයෙන් එළිදැක්වීමටද නියමිත බවත් යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණය නතර කිරීම, ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

ප්‍රධාන ක්ෂේත්‍ර 40ක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගතව ඇති බවත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මෙය ඉදිරිපත් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තවදුරටත් පවසයි.

රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සකස් කිරීම පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධානය යොමු කරමින් කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ධීවර, වැවිලි, ආයෝජන ආදි ක්ෂේත්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න අවධාරණය කර ඇතැයිද පවසයි.

තාක්ෂණය භාවිතයට ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ගමනාගමනය වැනි මහජන සේවා ජනතාවට වාසිදායක සහ යහපත් සේවා බවට පත් කිරීම, දිළිඳු ජනතාවට සහන ලබා දීම ඇතුළු කරුණු ගණනාවක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය්සට ඇතුළත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන්ගෙ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තීන්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

© පද්මිණී මාතරගේ – ඉරිදා ලංකාදීප

About The Author