Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාහන කතාවලින් ආණ්ඩුවේ ලකුණු කැපෙද්දී – යුධ හමුදාපති වාහන වලින් ලකුණු රැස් කරයි

යුද හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යුද හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් අද (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පරීක්‍ෂා කළේය.

කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් එලෙස යුද හමුදාපතිවරයා විසින් පරීක්‍ෂා කරන ලදී.

මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන වීමයි.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර තිබීම තවත් සුවිශේෂීත්වයකි.

එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.

මෙලෙස යුද හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද හමුදාපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

© මුලාශ්‍රය – යුධ හමුදා මාධ්‍ය ඒකකය

About The Author