Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලිංගික ගැටලු සඳහා රේඩියම්.

මේ වන විට අපි රේඩියම් විකිරණවල හානිකර බලපෑම් ගැන හොඳින් දනිමු. ඒවායින් පිළිකා ඇති වේ. අදාළ මූලද්‍රව්‍යය සොයා ගත් මාරි කියුරි මෙන් ම පියරි කියුරි ද මිය ගියේ එහි බලපෑමෙනි. එනමුත් 1900 ගණන්වල දී මෙම විකිරණශීලී ද්‍රව්‍යය ජලය සමඟ මුසු කොට මානසික රෝග සහ මහලු බවට පත් වීම වැළැක්වීම සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ලදී.

රේඩියම් මූලද්‍රව්‍යය අඩංගු නිෂ්පාදනවලින් එකක් වූයේ “රේඩිතෝර්” ය. මෙම ශක්තිජනක පානය හුදෙක් රේඩියම් ජලයේ දිය කිරීමෙන් සාදන ලද්දක් විය. 1920 කාලයේ දී ඒවායින් එක් අවුන්සය බැගින් අඩංගු කරන ලද බෝතලයක් ඇමරිකානු ඩොලර් 1ක මිළකට (දැන් ඩොලර් 15කි) අලෙවි විය. එහි නිෂ්පාදකයා කියා සිටියේ මෙම පානය මගින් සිරුරට ශක්තිය සපයනවා පමණක් නොව ලිංගික බෙලහීනත්වය ඇතුළු රෝග රැසක් ද සුව කළ හැකි බවයි. මෙලෙස සිදු වුණු ලිංගික ප්‍රතිලාභ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති වූ නමුත්, පුවත්පතකට කිසියම් පුද්ගලයෙකු විසින් ලියා තිබූ එක් ලිපියක සඳහන් ව තිබුණේ රේඩියම් ජලය මඟින් නවකයන්ගේ ලිංගික ආශාව වැඩි කළ හැකි බවයි. එහෙයින් බොහෝ පිරිමින්ගේ සිත් ඒ කෙරෙහි යොමු කිරීම සඳහා අදාළ ලිපිය පමණක් ප්‍රමාණවත් විය. වර්තමානයට අනුව රේඩිතෝර් යනු ව්‍යාඝ්‍රා පානයේ පූර්ව සංස්කරණයකි. කෙසේ වුවත් මෙම රේඩිතෝර් ලෝක වෙළෙඳපොළ තුළ තොග වශයෙන් විකිණිනි.

කිසියම් වෛද්‍යවරයෙකු බයර්ස් නමැති පුද්ගලයෙකුගේ අතෙහි හටගත් රෝගාබාධයක් සුව කිරීම සඳහා රේඩියම් මිශ්‍ර ජලය ප්‍රතිකාරයක් වශයෙන් ලබා දී තිබිණි. එහෙත් අත සුව වූ පසුවත් ඔහු දිගින් දිගට ම එම පානය විශාල වශයෙන් පරිභෝජනය කළේය. බයර්ස්, වසර තුනකට වැඩි කාලයක් දිනපතා බෝතලයක් හෝ දෙකක් බැගින් භාවිත කර ඇති අතර, සිය මිතුරන් සමඟ ඒ පිළිබඳ ප්‍රශංසාත්මක ව කතා කිරීමට ද යොමු ව තිබිණි.

අවසානයේ දී, බයර්ස්ගේ රේඩියම් ඇබ්බැහිය ඔහු මරා දැමීය. අවාසනාවකට මෙන්, දිනපතා ශරීරගත කරන ලද රේඩියම් අස්ථිවලට ඍජු ව සම්බන්ධ ව තිබු අතර, එහි සියලු විකිරණ ශක්තිය අස්ථි පටකවල තැන්පත් වී තිබිණි. කාලයාගේ ඇවෑමෙන්, රේඩියම් මූලද්‍රව්‍යය බයර්ස්ගේ ඇටසැකිල්ල වෙත විශාල විකිරණ මාත්‍රාවක් ලබා දුන්නේය. ඔහුගේ හිස් කබලේ සිදුරු ඇති වූ අතර, ඔහුට හකු අස්ථි ද අහිමි විය. අස්ථි ආශ්‍රිත වෙනත් රෝග රැසකට ද ගොදුරු වීමට බයර්ස් හට සිදු වී තිබිණි.

එම සිදුවීම සිදු ව තිබුණේ 1932 දී ය. එහෙත් ජනතාව රේඩියම් අත්හැරියේ නැත. ජලය හැරුණු විට, අවසානයේ දී මෙම මූලද්‍රව්‍යය චොකලට්, දන්තාලේප, උපත් පාලන කොපු ආදියට මෙන් ම උණුසුම් ජල ප්‍රතිකාරවලට ද එකතු කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍ය ජෙනරාල්වරයා විශ්වාස කර තිබුණේ රේඩියම් යනු මැලේරියාව හා පාචනය සඳහා ඉක්මන් මෙන් ම ඵලදායී ප්‍රතිකාරයක් ද වන බවයි. මෙම මිත්‍යාවෙන් මිදීමට මිනිසුන් හට බොහෝ කාලයක් ගත විය. 

මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය.

අද වන විට රෝහල් හා ශල්‍යාගාරවල ප්‍රබල වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෝෆින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන අතර, එ්වා 20 වන සියවසේ මුල් භාගයේ දී නිවෙස්වල අත්බෙහෙත් ලෙස බහුලව භාවිත විය.

1900 යුගයෙදී පමණ සෙම්ප්‍රතිශ්‍යාව, ඔසප් වීමේ ගැටලු සහ නින්ද නොයාම වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මෝෆින්, ලෝඩනම්, හෙරොයින්, අබිං සහ කොකේන් පවා සාමාන්‍ය වෙළෙඳසල් හරහා මිල දී ගත හැකි විය. අදාළ මත්ද්‍රව්‍යය ශරීරගත කිරීම සඳහා යොදා ගත හැකි එන්නත් කට්ටල ද Sears, Rebuck සහ Co. වැනි ප්‍රසිද්ධ නාමාවලි යටතේ පවා විකුණන ලදී. එපමණක් නොව, 1890 ගණන්වල දී බේයර් නම් වෛද්‍යවරයා විසින් කුඩා ළමුන්ගේ කැස්ස සඳහා කෝකටත් තෛලයක් ලෙස හෙරොයින් යොදා ගන්නා ලදී. බොහෝ වෛද්‍යවරු මානසික අවපීඩනය සඳහා ද කොකේන් භාවිත කිරීමට උපදෙස් දුන්හ. 

කෙසේ වෙතත් අබිං පවුලේ වේදනා නාශක ඖෂධ බොහොමයක් එකල භාවිතයට ගැනිණි. ඒවා මිනිසුන් ඇතුළු ශාක හා සතුන් ගණනාවක් තුළ ස්වභාවික ව ම දක්නට ලැබේ. විශේෂයෙන් වේදනාව අඩු කිරීම සඳහා මෙවැනි මත්ද්‍රව්‍ය සෘජුව ම මධ්‍යම ස්නායු පද්ධතිය (සී.එන්.එස්) හරහා ක්‍රියා කරවිය හැකි ය. ක්ෂණික වේදනාව හා නිදන්ගත වේදනාව යන දෙක ම වෙනුවෙන් මත්ද්‍රව්‍ය යොදා ගැනුණු අතර, හෘදයාබාධ හා දරු ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව සමනය කිරීම සඳහා නිතර භාවිත විය. එම ද්‍රව්‍ය මුඛයෙන්, මාංශ පේශියකට එන්නත් කිරීමෙන්, සම යටට එන්නත් කිරීමෙන්, කොඳු ඇට පෙළ වටා ඇති අවකාශයට සිරස් අතට එන්නත් කිරීමෙන් හෝ ලබා දීමට හැකි විය. උපරිම කාලය මිනිත්තු 20කට පසු වේදනාව ක්‍රමයෙන් අඩු වෙමින් ගිය අතර, සිරස් අතට හා මුඛයෙන් ශරීරගත කළ විට මිනිත්තු 60කට පසු වේදනාව අඩු විය. එ්වායේ බලපෑමේ කාලය පැය 3  සිට 7 දක්වා වූ බව පෙනේ. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author