Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝහල් කිහිපයක් හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කරයි

පවතින කොරෝනා තත්වය හමුවේ රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රෝහල් කාර්ය මණ්ඩල වල සේවක සේවිකාවන් රැසකට ආසාදනය වීම මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මෙරට ප්‍රධානතම ශික්ෂණ රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම සහ රෝහලක කාර්ය මණ්ඩල අතර රෝග ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වීමයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.

කොරෝනා රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලයට ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බව එම ලිපියේ සඳහන්.

කොරෝනා ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොරෝනා ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.

එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොරෝනා රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරචච්චි මහත්මිය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම රෝහල වන රත්නපුර මහ රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවයි.

රෝහලේ සියලු කාර්ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිත නිවේදනයක් මගින් අදාළ දැනුම් දීම කර ඇති බව සඳහන්.

About The Author