Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්

රේගු පරීක්ෂාවට ලක් නොකර ආනයනික භාණ්ඩ බහාලුම් 323ක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර අයථා කටයුත්තක් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන අයිශ්වර්ය අධිකාරි පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“මේ රටේ ජනතාව හැමෝම කතාවෙන සිද්ධියක් තමයි, බහාලුම් 323 කතාව. මේ බහාලුම් 323 එක්ක අපට ප්‍රශ්න ටිකක් තියෙනවා. මොක ද අපි දැක්කා වරායේ රේගු නිලධාරියෙකු වෙන අමිල සංජීව ඇවිල්ල කියනවා, කිසි ම අවසරයකින් තොරව, පරීක්ෂා කිරීමකින් තොරව බහාලුම් 323ක් වරායෙන් පිට කරල තියෙනවා කියලා. ඒ නිලධාරියා වගකීමක් ඇතුව කරන ඒ ප්‍රකාශයත් එක්ක ජනාධිපතිවරයා කොච්චර බය වුණා ද කියනවා නම්, හැරෙන තැපෑලෙන් ඔවුන්ට සාකච්ඡාවක් ලබා දුන්නා. ඒකත් එක්ක මේ රටේ ජනතාවට ප්‍රශ්න ටිකක් මතු වෙලා තියෙනවා.”

ඔහු ප්‍රකාශ කළ ආකාරයට එම ප්‍රශ්න මෙසේ ය.

  • ඒ බහාලුම්වල තිබුණේ මොනවා ද?
  • බහාලුම් නිදහස් කිරීමට බලපෑමක් කළේ නම් ඒ කාගෙන් ද?
  • බහාලුම් නිදහස් කරන්න ක්‍රියා කළ නිලධාරීන් කවුද?

එම ප්‍රශ්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා යම් අයථා කටයුත්තක් සිදුව ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව අයිශ්වර්ය අධිකාරි පැවසීය. ඒ සඳහා ජනාධිපතිවරයාට අභියෝග කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

කෙසේ වෙතත්, එම බහාලුම් නිදහස් කරනු ලැබුවේ දැනට පවතින බහාලුම් තදබදයට තාවකාලික විසඳුමක් ලෙස යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ (ජනවාරි 22 වන දා) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය.

විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවත් මේ හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුනොවූ බවට අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අවධාරණය කළේ ය.

මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක්

මේ අතර, ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්නගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන අතර, කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර කටයුතු කරති.

ආනයනික භාණ්ඩ සහිත බහාලුම් රේගු පරීක්ෂාවට ලක් කර නිදහස් කිරීමට තදබදයක් පවතින බවට වාර්තා වන පසුබිමක රේගු පරීක්ෂාවට ලක් නොකර බහලුම් 300කට වැඩි ගණනක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබ ඇති බවට රේගු වෘත්තිය සමිතියක් චෝදනා කළේ ය.

ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිශ්කාෂණයට ලක් නොකර නිදහස් කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමයේ සභාපති අමිල සංජීව බීබීසී සිංහල සේවයට සඳහන් කළේ, බහාලුම් මුදා හැරිමේදී පරිගණකගත ස්වංක්‍රීය ක්‍රමයක් හරහා පරීක්ෂාවට ලක් නොකර නිදහස් කළ හැකි බහලුම් මෙන් ම පරීක්ෂාවට ලක් කළ යුතු බහාලුම් ලෙස කාණ්ඩ කිහිපයකට වෙන් කළ හැකි ලොව පිළිගත් ක්‍රමවේදයක් මෙරට පවතින බව ය.

“බලන්න අවශ්‍යයි කියලා සිස්ටම් එකෙන් තීරණය කරපු කන්ටේනර්ස් 323ක් මෙහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ.”

පරීක්ෂා නොකර බහාලුම් නිදහස් කරන්න අවසර දුන්නේ කවුද?

මෙම බහාලුම් සංඛ්‍යාවෙන් 80% පමණ දැඩි රේගු පරීක්ෂාවට ලක් විය යුතු රෙඩ් චැනල් කාණ්ඩයට අයත් වන බව ඔහු සඳහන් කළේ ය.

මෙම බහාලුම් පරීක්ෂාවට ලක් නොකර නිදහස් කරනු ලැබුවේ, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අශීර්වාදය ඇති නිලධාරීන් පිරිසක් විසින් බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියේ ය.

“රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙත් අශීර්වාදය ඇතිව, නිලධාරීන් 3 දෙනෙක් එකතු වෙලා තීරණය කරලා තියෙනවා මේවා පරීක්ෂා කිරීමෙන් තොරව නිදහස් කරලා එළියට යවනවා කියලා.”

‘මේ රටේ මහ ජනතාව ඉන්නේ ජාතික අනතුරක’

“මේ වගේ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න මිනිස්සු ඒ ප්‍රයෝජන ගන්නවා. එතකොට මේවා අස්සේ දාලා ඒගොල්ලන්ගේ මොන භාණ්ඩයක්, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන භාණ්ඩයක් වෙන්න පුළුවන්, සමහර විට මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, අවි ආයුධ වෙන්න පුළුවන්, මිනිස් පරිහරණයට සුදුසු නැති භාණ්ඩ වෙන්න පුළුවන්, නියාමන ආයතන මගින් නියාමනය කරන්න නියම වෙලා තිබුණු භාණ්ඩ වෙන්න පුළුවන්, අපිට ඇත්තට ම අදහසක් නෑ මොනව ද මේ කන්ටේනර්ස්වල තිබුණේ කියලා. ජාතික අනතුරක මේ රටේ මහ ජනතාව ඉන්නේ. මොක ද කන්ටේනර්ස් 323ක් කියන්නේ අති විශාල සංඛ්‍යාවක්. එතකොට මේ දේවල් හරහා මොනවා ද සමාජගත වුණේ කියලා අපි දන්නේවත් නැහැ,” යැයි මෙහි බරපතළකම විස්තර කරමින් රේගු නිලධාරී අමිල සංජීව පැවසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට රේගු නිලධාරින්⁣ගේ සංගමය චෝදනා කරයි.

“රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ම අදහස්වලින් පැහැදිලි වෙනවා එතුමා ජනාධිපතිතුමා ඉස්සරහ ම ප්‍රකාශ කළා මේ පරීක්ෂණ කරන භාණ්ඩවලින් 65%ක ම බරපතළ රේගු වැරදි අනාවරණය වෙනවා කියලා. එතුමා ඇත්තට ම ඒක ප්‍රකාශ කළේ එතුමා දියත් කරලා තියෙන රිස්ක් මැනේජ්මන්ට් ක්‍රයිටිරියා එකේ සාර්ථකත්වය පෙන්වන්නයි එතුමා ඒක කිව්වේ. අපි මේ ප්‍රශ්න කරන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ම දරන දෙබිඩි ස්ථාවරය.”

මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මෙන් ම, ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර පරීක්ෂණ ඒකකයට මේ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජීව බීබීසි සිංහල සේවයට පැවසීය.

බහාලුම් නිදහස් කිරීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

මෙසේ රේගු පරීක්ෂාවට ලක් නොවී ආනයනික බහාලුම් රට තුළට නිදහස් වීම පාර්ලිමේන්තුවේ ද උණුසුම් මාතෘකාවක් විය.

සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් මෙම සිදුවීම පිළිබඳව ජනවාරි 22 වන දා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනු ලැබුවේ මෙය ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පවසමිනි.

ඊට පිළිතුරු දෙමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව ය.

“මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පස්සේ අපි ක්ෂණිකව ම කරපු කාරණය තමයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෘත්තීය සමිති ගෙනල්ලා මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවට මමත් සම්බන්ධ වුණා. අපි පළමුකොට ම කිව්වේ එවැනි දෙයක් සිදුවී තියෙනවා නම්, ඒ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා නම්, ඒ කන්ටේනර් පිළිබඳව අදාළ පරික්ෂණය කරන බවට සහතිකය ලබා දෙමිනුත්, ඒ වෘත්තිය සමිතිවලට රේගුවේ නිශ්කාෂණ කටයුතු හරියට කරන්න මැදිහත් වෙන ලෙසත් ඒ ප්‍රශ්නය විසඳුවා.”

මීට පෙර ද බහාලුම් නිදහස් කිරිමේ තදබද ඇති වූ අවස්ථාවලදී රේගුව මැදිහත්ව ඔවුන්ට සුදුසු ක්‍රමවේද හරහා බහාලුම් නිදහස් කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

“ඒ ක්‍රමවේද අතරේදී සමහර අවස්ථාවලදී රෙඩ් ටැග් එක ගහන ඒවා ස්කෑන් කරලා යවන අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේ ම අතීතයේදී එහෙම රෙඩ් ගහන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා ග්‍රීන් චැනල් එකේ ම. හැබැයි ඒ පිළිබඳව අපි දන්නේ නෑ පරීක්ෂණ සිද්ධ වුණා ද කියලා.”

මීට පෙරත් බහාලුම් නිදහස් වෙලා

මීට පෙර එවැනි ආකාරයෙන් බහාලුම් නිදහස් කර ඇතැයි මහාචාර්ය අනිල් ජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“දත්ත විදියට ඉදිරිපත් කරනවා නම් මීට පෙර අවස්ථා 7කදී විශේෂයෙන් දෙදහස් විසි හතරේ හත් වෙනි මාසේ විසිපස් වෙනි දා මෙවැනි කන්ටේනර් 584ක් නිදහස් වෙලා තියෙනවා.”

බහාලුම් නිදහස් කළේ කොහොම ද?

මෙසේ බහාලුම් නිදහස් කරනු ලැබුවේ දැනට පවතින බහාලුම් තදබදයට තාවකාලික විසඳුමක් ලෙස යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ (ජනවාරි 22 වනදා) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

එමෙන් ම එසේ බහාලුම් නිදහස් කරනු ලැබූ ක්‍රමවේදය පිළිබඳව ද ඔහු විස්තර කළේය.

“පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය තීරණයක් ගත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සෑදුන කමිටුවක් හරහා නිෂ්කාශන කිරීමට පෝලිම්වල තිබෙන භාණ්ඩ, දත්ත පද්ධතිය හරහා යොමු කර ඇති බහාලුම්වලින් භාණ්ඩ පරික්ෂාවකින් තොරව නිදහස් කළ හැක්කේ කුමන බහලුම් ද කියලා විශ්ලේෂණය කරලා තෝරාගෙන ඒවා පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමටයි. මේ කමිටුව 2024 වසරේ ජුලි මාසේ සිට ක්‍රියාත්මකයි.”

මීට පෙර ද බහාලුම් දහස් ගණනක් මෙම ක්‍රමවේදය යටතේ මුදා හැර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

වංචාවක් හෝ දුෂණයක් නොවූ බවට සහතිකයක්

තමන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටුව ක්‍රියාත්මක වූ බව ද ඔහු පැවසීය.

“වටිනකම අඩුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒවා සම්බන්ධ නැවත රේගුවට ගෙවිය යුතු බදු අපි අය කර ගැනීමට මුලින්ම කටයුතු කළා. ඒ වගේම මේ භාණ්ඩ මොන වර්ගයේ භාණ්ඩ ද කියන එක, ඒ වගේ ඒවා ආනයනය කළේ කවුද, මේ කියන දේවල් පරීක්ෂා කරලා, ඒ වගේම මේවා පරිලෝකන පද්ධතියක් හරහා ස්කෑන් කරාලා. මේ වගේ ක්‍රමවේදයක් හරහා තමයි මේවා තෝරාගෙන, රාජ්‍ය ආදායම ඒවගේම රාජ්‍ය ආරක්ෂාව සහ අනිකුත් දේවල් සඳහා සිදුවන හානිය අවම මට්ටමකින් පවත්වාගෙන තමයි මේවා නිදහස් කිරීම සිද්ධ කළේ.”

විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බවත් මේ හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුනොවූ බවට අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ අවධාරණය කළේ ය.

© BBC සිංහල

About The Author