Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවේ අනවශ්‍ය මැදිහත්වීම.

පසුගිය වසරේ එක්සත් රාජධානියේ පැවැත්වුණු මහ මැතිවරණය තුළට රුසියානු රජයේ ඇඟිලි ගැසීමක් සිදු ව තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වන “ඩොමිනික් රාබ්” ප්‍රසිද්ධියේ චෝදනා කොට තිබේ. එක්සත් රාජධානිය මෙවැනි මැදිහත් වීමක් පිළිබඳ ඍජුව ම තවත් රාජ්‍යයකට චෝදනාවක් එල්ල කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සිද්ධියේ සත්‍යතාව ඔප්පු කර ගත හැකි වුවහොත් එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ උස පුටු සමහරකට සිය තනතුරු ද අහිමි විය හැකි බවට අනතුරු ඇඟවී ඇත.

කුමන රටකට හෝ වේවා වෙනත් රටකින් සිදු කෙරෙන අනවශ්‍ය අත පෙවීම් අනුමත කළ නොහැකි ය. පෙනී යන අන්දමට ඔත්තුකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් රුසියානුවන් එක්සත් රාජධානියට අයත් වෙළෙඳ සාකච්ඡා පිළිබඳ ලියකියවිලි කිහිපයක් ගෙන්වා ගෙන තිබේ. පසුව මැතිවරණයට දින කිහිපයකට පෙර ඒවා සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කොට තිබේ. හොඳින් අවධානය යොමු කළ විට පෙනී යන්නේ රුසියාව මෙම කරුණේ දී කිසිදු ඍජු මැදිහත් වීමක් සිදු කර නොමැති බව යි. එහෙත් වක්‍රාකාරයෙන් ඔවුනට අවශ්‍ය දේ එක්සත් රාජධානිය ලවා ඉටු කරවාගෙන ඇත් ද යන වග මේ වන විට සොයා බැලෙමින් පවතී. ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් රාබ් මහතා කියා සිටියේ, නීතිවිරෝධී ලෙස අත්පත් කර ගත් හා කාන්දු වූ රජයේ ලියකියවිලි අන්තර්ජාලය හරහා බෙදා හැරීම තුළින් 2019 මහ මැතිවරණයට රුසියානුවන් මැදිහත් වීමට උත්සාහ කර ඇතැයි රජය නිගමනය කර ඇති බවයි.

කෙසේ වුවත් රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා “මාරියා සකාරොවා” පවසන්නේ සිය රජය මෙම චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව යි. ඇය පෙන්වා දෙන්නේ මෙලෙස අපහාසාත්මක චෝදනා එල්ල කරන රාබ්ගේ ලිඛිත ප්‍රකාශය පවා කිසිවෙකුටත් පැහැදිලි ව වටහා ගත නොහැකි අන්දමේ විකාරරූපී එකක් බව ය.

About The Author