Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රන්ජන් තනිව සටනේ : අභ්‍යන්තර දේශපාලනය දෙදරයි

පැන්ඩෝරා මහා අනාවරණය පිටුපස රන්ජනුත් හිටියා ද ?

පැන්ඩෝරා පත්‍රිකා මගින් චෝදනා ලද නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අදාළව තහවුරු කළ හැකි මට්ටමේ සාක්ෂි තමා සතු බව දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා ඇති බව වාර්තවනවා.

දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් විමසීම සඳහා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ රන්ජන් රාමනායක මහතා මුල් වරට මෙම කරුණ හෙළිකර තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් ඔහු විසින් නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියෙන් පැවසෙන්නේ අදාල විමර්ශනයට සහය වීමට අවස්ථාවක් දෙන ලෙස රන්ජන් රාමනායක මහතා ඉල්ලීමක් කර සිටින බවයි.

කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතාගේ මෙම මැදිහත්වීම දේශපාලනය තුළ අභ්‍යන්තර කැළඹීමක් ඇති කර තිබෙනවා.

දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා වගකීමෙන් යුක්තව තමන් හඬ පට සහ සාක්ෂි ඇති බව පැවසීම බොහෝදෙනෙකුගේ කලබලයට හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔහු අදාළ තොරතුරු සඟවා ඇත්තේ කොහේ දැයි යන්න පිළිබඳ නැවත ප්‍රශ්නයක් මතුව තිබෙනවා.

මීට පෙර එක් අවස්ථාවක ඔහු සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් මාධ්‍යට නිකුත් කරමින් ජනමතය විවිධ ආකාරයෙන් හැසිරවීමට උත්සාහ දැරූ ආකාරය අපට අමතක නැහැ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ හඬ පට සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු වන බවක් හෝ පුද්ගලික සංවාද ‍ ජනමාධ්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් ද සිදුවන බවක් දැනගන්නට නැහැ.

නමුත් අදාළ හඬ පට මතුවීමේ ප්‍රතිඵලයක් ලෙස භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටි දුමින්ද සිල්වා මහතා යම් ආකාරයක දේශපාලන පලිගැනීමට ලක් වී ඇති බවට මතයක් සමාජ ගත වුණා.

එමෙන්ම යහපාලන සමයේ සිදුවූ ඇතැම් විමර්ශන දේශපාලන පලිගැනීම් වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවට ද තොරතුරු සමාජගත වීම සිදු වූණා.

කෙසේ නමුත් රංජන් රාමනායක මහතා පැන්ඩෝරා අනාවරණය සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වීම මේ සියලු තත්ත්වයන් තුළ කැළඹීමක් බවට පත්ව තිබෙනවා.

පැන්ඩෝරා අනාවරණය සිදුකිරීමට පෙර රංජන් රාමනායක මහතා අදාළ තොරතුරු දැන සිටි බවට මේ වන විට කරුණු වාර්තා වන්නේ ඔහු මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වීමත් සමඟයි.

එලෙසින් රන්ජන් රාමනායක මහතා සතුව ඇති අනිත් සාක්ෂි මොනවාද?

නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇති තොරතුරුවලට අමතරව තවත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධ තොරතුරු රන්ජන් රාමනායක සතු ද?

පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් සියලු දෙනා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

About The Author