Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට වැහිල්ලක් නෑ – රෝග පැතිරීම වැලැක්වීමට සහය වීම ජනතාවගේ යුතුකම සහ වගකීම බව අවධාරණය කෙරේ

කොරෝනා සත්කාර වලදී 60 ට වැඩි පුරවැසියන්ට මුල් තැන දෙන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොරෝනා හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව අද වාර්තා වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ කොරෝනා සත්කාර වලදී වයස අවුරුදු 60 ට වැඩි සහ දීර්ඝ කාලින රෝගාබාධ වලින් පෙලෙන ජනාතාවට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසයි.

එමෙන්ම රෝගය පාලනය සහ රෝගයෙන් ආරක්ෂා වීම ජනතාවගේ යුතුකම සහ වගකීම බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහළින්..

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නො වන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

ගත වූ දින කිහිපය තුළ සිදු ව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නො ගත් සහ බෝ නො වන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ.

එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී 60ට වැඩි සහ විවිධ ලෙඩරෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදකලා (Isolate) කිරීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය.බෝ නො වන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් කෙරිණ.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නො පැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නො වේ.

එම නිසා එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ප්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව කොවිඩ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

ජනතා ඒකරාශීවීම් වළක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගය පැතිරයෑම වැළැක්වීමට සහායවීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛද්‍යවරු අවධාරණය කළහ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

About The Author