රක්තවාතය හෙවත් පාදශෝතය යනු බොහෝ දුරට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන රෝගයකි. සමේ කුෂ්ඨ, අත් හා පාදවල හිරිවැටීම, විළුඹ ආශ්‍රිත ප්‍රදාහයන්, අත් පා පැලී ලේ ගැලීම, ආතරයිටිස් වැනි රෝගී තත්ත්ව, අධික රුධිර පීඩනය ආදී බොහෝ රෝග ලක්ෂණ ඇති කරවන මෙම රෝගය පුරාණ යුගයේ දී වැළඳී තිබුණේ යම් තරමකට මුදල් හදල් ගැවසුණු පවුල්වල සාමාජිකයන් හට පමණි. එහෙත් අද වන විට එය සැලකිය යුතු පිරිසක් අතර දක්නට ලැබෙන බව පෙනේ.
මේ වන විට රෝගය සඳහා ආයුර්වේදීය වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම බටහිර ප්‍රතිකාර ද තිබේ. කතුරුමුරුංගා වැනි ශාක වර්ගවලින් සහ විටමින් ඩී, ඩර්මොවේට්,කෝල් ටාර් වැනි ආලේපනවලින් ද මෙය සුව කර ගැනීමට උපකාරයක් ලැබේ. එනමුත් මෙයට වසර ගණනකට ඉහත විසූ මිනිසුන් රක්තවාතය සුව කර ගැනීම සඳහා භාවිත කර තිබුණේ අපූරු ප්‍රතිකර්මයකි.
ඔබ අප සාමාන්‍යයෙන් රාත්‍රියේ දී දකිනා වර්ගයේ බස්සෙකු අල්ලා ගන්න. බස්සා මරා, උගේ පිහාටු, හොට, පාද ආදී සියල්ල ඉවත් කර මසින් පිරි ශරීරය පමණක් මතු කර ගන්න. පසුව එම ශරීරය මතුපිට ඇති රුධිරය හොඳින් සෝදා හැර බස්සා දෙකට පලා ගන්න. සිරුර තුළ ඇති අතුණු බහන් සියල්ල ඉවත් කර, ශරීරය අභ්‍යන්තරය ද හොඳින් පිරිසිඳු කර ගන්න. පසුව සියල්ල සෝදා හැර, ලුණු දමා පදම් වන්නට හරින්න. අලුතින් සාදන ලද මැටි වළඳක් ගෙන පිරිසිඳු කරන ලද බකුසු ශරීරය ඒ තුළ බහා ලන්න. සිරුරට උඩින් එය වැසී යන සේ ගල් කිහිපයක් තබා ගන්න. පසුව භාජනය ගිනි උදුනක් තුළ තබා පුළුස්සා ගන්න. හොඳින් පිළිස්සුණු පසු උදුනින් ඉවතට ගෙන ගල් සියල්ල ඉවත් කර ගන්න. අවසානයේ දී හොඳින් වැඩුණු වල් ඌරෙකුගේ ශරීරයෙන් ගත් තෙල් කෝප්පයක් පමණ ගෙන බස්සා වැසී යන සේ වත් කර ගන්න. ටික වේලාවක් තිබෙන්නට හැර, මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන රක්තවාතයෙන් හානි වී ඇති ප්‍රදේශවල ආලේප කර ගන්න. වළඳ සිඳෙන විට රෝගය ද සුව වී තිබෙනු ඇත.
ඉරුවාරදයට විසඳුම.
වත්මන් යුගයේ ජීවත් වන මිනිසුන්ගෙන් සියයට පණහක පමණ පිරිසකට බොහෝසෙයින් වධ දෙන රෝගයක් වශයෙන් ඉරුවාරදය හැඳින්විය හැකි ය. මේ සඳහා නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත. එනමුත් අධික මානසික පීඩනය සහ වැරැදි ආහාර රටා ඊට යම් තරමකට හෝ හේතු වන බව පෙනේ. ඇතැමුන් හට තේ, කෝපි, තෙල් අධික ආහාර වැනි දේ ගත් විට රෝගය උත්සන්න වෙයි. එවන් අය එම ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය. දෛනික ව රෝගය හට ගන්නේ නම් වෛද්‍යවරයෙකු කරා ගිය විට දිනපතා රාත්‍රියේ දී බීමට පෙත්තක් දෙනු ඇත. දහවල අව්වේ ගිය විට හා අධික වෙහෙස දැනුණු විට රෝගය මතු වන්නේ නම් එය සෑදීගෙන එන විට ගැනීමට ඖෂධ ලබා දෙනු ලැබේ. සුදුලූනු ද ඉරුවාරදයට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් බව ප්‍රසිද්ධ ය.
මධ්‍යකාලීන යුගයෙ දී මෙම රෝගය සඳහා නිවසේ දී ම සාදා ගන්නා ලද ඖෂධ වට්ටෝරුවක් තිබිණි. සාමාන්‍ය භාජනයක් ගෙන, එයින් භාගයක් වන සේ බාර්ලි පුරවන්න. ඉන්පසු එයට හිසේ ගැටලු සඳහා ප්‍රසිද්ධ යැයි සැලකෙන දම්පාට මල් සහිත බෙටනි ශාකයෙන් මල් අහුරක්, වර්වෙයින් ශාක අහුරක් ආදී ඖෂධ කිහිපයක් එක් කර ගන්න. පසුව භාජනය ලිප මත තබා, සියල්ල හොඳින් තම්බා ගන්න. අනතුරුව ඒ සියල්ල එක් කොට ගෙන, රෙදිකඩක් මත තබා, පොට්ටනියක් වන පරිදි ඔතා, එම පොට්ටනිය හිසකුඩිච්චියක් සේ රෝගියාගේ හිස මත තබා, නස්න කරන්න.
මෙම ඖෂධ වට්ටෝරුව අතරින් බෙටනි ශාකය තණ බිම්වල වැවෙන්නකි. ඒවා පුරාණ අවධියේ සිට ම සියලු වර්ගවල රෝගවලට අභ්‍යන්තර පිළියම් සඳහා මෙන් ම ඖෂධ සකසා ගැනීමේ දී අමුද්‍රව්‍යයක් ලෙස ද භාවිත කරන ලදී. නවීන වෛද්‍ය විද්‍යාව තුළ ද තවමත් දරුණු හිසරදය සහ ඉරුවාරදය සඳහා ප්‍රතිකාර කිරීමට බෙටනිවල ඇති ඇල්කලෝයිඩ් සංයෝගය යොදා ගනී. වර්වේන් තුළ ඇත්තේ ග්ලයිකොසයිඩ් අණුවකි. ඒවා ද වර්තමාන ඖෂධවේදීන් විසින් ඉරුවාරදය පමණක් නොව මානසික අවපීඩනය හා කාංසාව මඟ හැරවීම සඳහා භාවිත කරන බව පෙනේ. එහෙයින් හොඳින් සිතා බැලූ විට, මෙම ඖෂධ වට්ටෝරුව එතරම් ප්‍රයෝජනවත් ලෙස නොපෙනුණ ද වැඩකට නැති එකකැයි සලකා බැහැර කළ නොහැකි බව පෙනේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !