Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුගදනවි බලාගාර අමෙරිකාවට ලබාදුන්නාට විරුද්ධ බව පවසමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කරන්නේ බොරුවක් ද ?

රවටනවාද? රැවටෙනවාද?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධ වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම පක්ෂ නායකයන් බොරැල්ලෙ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ අද (20)පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වූ බවයි වාර්තාවන්නේ.

යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (21) හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බවද සඳහන්.

රැඩිකල් පිළේ ගම්මන්පිළගේ මෙවර භූමිකාව

රජය සමග විවිධ මත ගැටුම් ඇති කරගත් අවස්ථා වලදී හදිසියේ එක්වන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පෙරමුණේ සිටින පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම සාකච්ඡාවට සහභාගී වූයේ නැහැ.

බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉහත සඳහන් කරන ලද කෙලවරපිටිය යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබා දීමට අදාළ කටයුතුවලදී ඔහු මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබෙනවා.

ජනතාව රවටනවාද? රැවටෙනවාද?

විවිධ අවස්ථාවලදී ආණ්ඩුවට විරුද්ධ බව පවසමින් මෙම පක්ෂ නායකයින් කරලියේ කතා බහ නිර්මාණය කළ ද කිසිදු අවස්ථාවක ඔවුන්ගේ අදහස් හෝ මත වාද ජයග්‍රහණ නොකළ බව පැහැදිලි වුණා.

එමෙන්ම අවසානයේ සිදුවූයේ පොදුජන පෙරමුණ සහ එහි ‍ ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පමණයි.

ඒ ඒ අවස්ථාවලදී සමාජය තුළ ආණ්ඩුවට එරෙහිව එල්ල වන ජනතා විරෝධය සමනය කිරීම සඳහා ආණ්ඩුව තුළින්ම විපක්ෂ මත වාද නිර්මාණ කළ අතර ආණ්ඩුව තුළම බෙදීමක් ඇතැයි ජනතාවට මාධ්‍ය මගින් සුළු උත්තේජයක් ලබා දී අවසානයේ රජයට අවශ්‍ය කාර්යයම සිද්ධ කර ගැනීම දක්නට ලැබුණා.

මෙවරද එය එසේම සිදුවනු ඇති ද? ජනතාව රවටනවා ද? රැවටෙනවාද ?

About The Author