Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යහපාලනය සමයේ නීතිපතිම ගොනු කළ නඩුවක් නීතිපති විසින් ම අකුලා ගනී : දිවි නැගුම නඩුවෙන් බැසිල් සහ දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාලුත් නිදහස්

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද (15) නියෝග කරනු ලැබුවා.

ඒ නීතිපතිවරයා එම නඩුවේ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.

පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත් 2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් කියා සිටියේ එම චෝදනාවලට හා සමගාමී චෝදනා යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවකින් කොළඹ වෙනත් මහාධිකරණයක් විසින් ඔවුන් නිදොස් කර නිදහස් කර ඇති බවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 2020 නොවැම්බර් 30 වැනිදා අංක 8222-2016 යටතේ නිකුත් කර ඇති එම නියෝගය අනුව මෙම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තිකරුවන් එම අධිචෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළා.

About The Author