අසූචි
අප කෙතරම් පිළිකුල් සහගත ලෙස ඉවත දැමුව ද අසූචි යනු පුරාණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු රෝග නිවාරණය කරන මහඟු සම්පතක් විය. විශේෂයෙන් ම බුරුවන්ගේ, බල්ලන්ගේ, කුරංගයන්ගේ (මුවා වැනි සතෙකි.) සහ මැස්සන්ගේ අසූචි යොදා ගනිමින් පිටගැස්ම ඇතුළු ලෙඩ රෝග ගණනාවකට තිත තැබීමට ඔවුන්ට හැකි විය. එම වෛද්‍යවරුන් විශ්වාස කළේ මෙමගින් රෝග නිවාරණය වූයේ, මිනිස් සිරුරට අරක් ගත් භූතාත්ම පළවා හැරීමට ඒවාට හැකි වූ නිසා බව ය. ඒ, දැනට වර්ෂ 1500කට පමණ ප්‍රථම ය.
එහෙත් එවැනි අභෞතික දේ විශ්වාස නොකරන මෙම අවධියේ වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ අසූචිවල අඩංගු වී ඇති බැක්ටීරියා මඟින් අදාළ රෝග ඇති කරන විෂබීජ විනාශ කරන්නට ඇති බව ය. නැතහොත් සැබවින් ම සුවය ලැබූ එම රෝගීන්ට සිදු වූ දෙය පැහැදිලි කර දෙන්නේ කෙසේ ද?
මිනී මස්
මිනී මස්වලින් රෝග සුව කෙරුණු යුගයක් ද තිබූ බව ඔබ දන්නවා ද? අඛණ්ඩ ව ඇති වන හිසරදය, මාංශ පේශිවල කැක්කුම හා ආමාශගත තුවාල සඳහා මිනිස් ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට පැරැණි වෛද්‍යවරුන් උත්සාහ ගෙන තිබේ. මෙය කෙතරම් දරුණු වුව ද වසර සිය ගණනක් තිස්සේ භාවිත වී ඇත. එය මෑතක දී තහනම් කරන ලද්දේ, ඖෂධයේ අගුණයක් නිසා නොව, මිනිස් සිරුරින් ඖෂධ තැනීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් පමණි.
විශේෂයෙන් ම පැරැණි යුගයේ වීරයන් වූ ග්ලැඩියේටර්වරුන් මිය ගිය පසු, ඔවුන්ගේ සිරුරු බෙදා ගැනීම සඳහා වෛද්‍යවරුන් අතර බලවත් අරගලයක් තිබී ඇත. එයට හේතු වී ඇත්තේ ග්ලැඩියේටර්වරුන්ගේ සිරුරු කොටස්වලට අපස්මාරය වැනි රෝග සුව කිරීමේ විශේෂ හැකියාවක් ඇති බව විශ්වාස කිරීම නිසා ය. දොළොස් වන සියවසේ දී පමණ මමිගත කරන ලද සිරුරු කොටස් ද, දහහත් වන සියවසේ දී රජවරුන්ගේ කොටස් ද මෙම භයානක ඖෂධ වර්ග සාදා ගැනීම සඳහා යොදා ගෙන තිබේ.
අදාළ මළ සිරුරේ හිස් කබල – ඉරුවාරදය සඳහා ද, මේදය – මාංශ පේශි සඳහා ද ආදී වශයෙන් එක් එක් කොටස් එයට අදාළ ප්‍රදේශ වෙනුවෙන් භාවිත වී තිබේ. පසු කාලීන ව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි මිනිසුන් මුදල් සොයා ගැනීම සඳහා වුවමනාවෙන් ම සිරුරු කොටස් දන් දීමට යෙදුණු අතර, ඇතැම් රෝගීන් මුදල් ගෙවා මිනී මැරීමට ද උත්සාහ දරා ඇති බව පෙනේ.
ගර්භාෂය
පුරාණ මිනිසුන් විශ්වාස කළේ කාන්තාවකගේ ගර්භාෂය හැම විට ම සිරුර පුරා දුවන බවයි. එබැවින් ඔවුන් නොයෙකුත් සුවඳ වර්ග කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිත ව ගල්වා, ගර්භාෂය පහළට ගෙන්වා ගැනීමට උත්සාහ දැරූහ. තව ද විවාහ වූ පසු අවුරුද්දක් පාසා දරුවන් වැදීමට ද ගැහැනියට උපදෙස් දෙන ලදී. එසේ කළ විට ගර්භාෂයට වැඩ අධික වන බැවින් එහේ මෙහේ දිවීමට එයට වේලාවක් නොමැති වනු ඇති බව ඔවුහු විශ්වාස කළහ.
දඬුවම්
බැබිලෝනියානු ජනතාවට අනුව රෝගාබාධ යනු මියගිය ආත්ම විසින් ජීවත් වන්නවුන්ට දෙන දඬුවම් ය. එබැවින් රෝගියෙකුගේ දතක් ගැලවී බිමට වැටුණහොත් එහි අදහස වූයේ කවුරුන් හෝ මළ ගිය ඥාතියෙකුට රෝගියා හා සම්බන්ධ වීමට අවශ්‍ය වී ඇති බව යි. එම සම්බන්ධයට ඉඩ සලසා, අදාළ ඥාතියාගේ මාර්ගයෙන් ඉක්මනින් රෝගය සුව කර ගැනීමට වෛද්‍යවරු උපදෙස් දුන්හ.
ඒ අනුව රෝගියා පුරා සතියක් මුළුල්ලේ මිනිස් හිස්කබලක් සමඟ නිදා ගත යුතු ය. අභූත විශ්වාසයන් මුල් බැසගෙන තිබූ කාලයේ දී එය ඉතා භයානක කටයුත්තක් විය. එබැවින් බොහෝ රෝගීන් එක් දිනක් පමණක් හිස්කබල සමඟ වාසය කොට, අනෙක දිනවල දී හොර රහසේ වෙනත් ස්ථානයක රැය ගත කිරීමට යත්න දැරූහ. මෙම වංචාව පිළිබඳ දැන ගත් වෛද්‍යවරු එයින් පසු සෑම දිනක ම රෝගියාට හිස්කබල සමඟ නිදා ගැනීමට පමණක් නොව, රාත්‍රිය පුරා වරින් වර හත් වරක් එම හිස්කබල ලෙව කා සිප ගැනීමට ද නියම කළහ.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්