අපකීර්තිමත් දේශපාලනය කීර්තිමත් පත් කිරීමකට සම්බන්ධ කරන්න එපා : ආචාර්යවරු, සිසු දැරුවන් විරෝධතා අරඹයි
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි සමජ විරෝධයක් නිර්මාණය වී තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම පත් කිරීමට විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් ප්‍රධාන වශයෙන් මතු කර තිබෙන්නේ ජනාධිපති වරයාගේ මෙම පත් කිරීම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වය සහ විශ්ව විද්‍යාලයේ ගෞරවය යන දෙකම මෙන් විනාශ වී යන බවයි.
අදාළ සම්පූර්ණ ලිපිය
“ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි.
කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි.විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හිදී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.
කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජය විසින් පත්කොට ඇත.
නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු.
මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි.
තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළ ය. නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදුකිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්,විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.
එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදුකිරිම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු”.
මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
අඬන දරුවෙකුට සීනිබෝල දුන්නා වගේ වැඩක්
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඒ සම්බන්ධයෙන් විරෝධතාවය එල්ල කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතා පවසන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කුලපති තනතුර ප්රදානය කිරීම අඬන දරුවෙකුට සීනිබෝල දුන්නා වගේ වැඩක් ලෙස සමාජය කියවා ගනු ඇති බවයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සම්පූර්ණ සටහන පහලින්..
විශ්ව විද්‍යාලයක කුලපති ධූරය ට භික්ෂූන් වහන්සේ නමක් නම් කිරීම කිසිසේත්ම ප්‍රශ්නයක් නොවේ.
මේ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ව සිටින්නේ භික්ෂූන් වහන්සේ නමකි. එනම් ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ය. ඊට පෙර අපේ කුලපතිව වැඩ සිටියේ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ය.
පසුගිය සතියේ අපවත් වූ වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ කැලනියේ කුලපතිව සිටියහ. එසේම වෙනත් ආගමික පූජකවරයකු පත්කිරීම ද වරදක් ලෙස සැලකී නැත.
කොළඹ විශ්වවිද්‍යාලයේ මෙතෙක් සිටි කුලපති වන්නේ ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු තුමන් ය. මේ කිසිවෙකුට කිසිවෙකු විසින් හෝ විරුද්ධ වූ බවක් මා දන්නේ නැත.
එසේනම් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය ට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ව පත් කිරීම වැරදි වන්නේ කෙසේද? එය වැරදි වන්නේ උන්වහන්සේ වෘත්තීය සමිති නායකයෙකු ද එසේම ඉතාමත්ම විවාදාපන්න දේශපාලන මත ප්‍රකාශ කරන හා විවෘතවම පක්ෂ දේශපාලනයෙහි සක්‍රීයව සිටින ස්වාමීන් වහන්සේ නමක ද වන බැවිනි.
උදේ වරුවේ දී කර්කශ දේශපාලන විවාදයක පැටලී සිට හවස් වරුවේදි ගාම්භීර උපාධි ප්‍රදානෝත්සවයක මුලසුන දැරීම එතරම් ගැළපෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත.
අනෙක් අතට පසුගිය මාස කිහිපය පුරා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඉතා දැඩිව ආණ්ඩුව විවේචනය කළහ. ඒ සමගම දැන් මේ තනතුර ලැබී ඇත.
ඒ නිසා මෙය අඬන ළමයාට සීනි බෝලයක් දුන්නා වැනි දෙයක් යැයි කාට හෝ පෙනෙන්නට පුළුවන. කුලපති සහ උපකුලපති කම් යනු කොහොමටත් දේශපාලන පත්වීම් බව සැබෑය.
එහෙත් අපගේ පෘතග්ජන ස්වභාවය වන්නේ ඒවා එසේ නොවේ යැයි හිත හදා ගැනීමය.
ලෝකයේ බොහෝ උතුම් ආයතනවල ගරු ගාම්භීරත්වය සුරක්ෂිත වී ඇත්තේ මෙබඳු ස්වයං වංචාවන්ට බාධාවක් නොවන පරිද්දෙන් ඒවා ක්‍රියාත්මක වන නිසාය.
කරඬුවක් සේ වන්දනාමාන කළ යුතු දෙයක් යැයි අප විසින්ම හිත රවටා ගෙන ඇති දෙයක් මෙසේ සීනි බෝලයක මට්ටමට වැටීම දුහුනන් වන අපගේ හද රිදවන සුළුය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි