Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මී මැස්සන්, වැලි සහ ජලය යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම

මී මැසි ප්‍රතිකර්මය.

මී මැස්සන් පෘථිවියෙන් වඳ වී ගොස් වසර කිහිපයක් ගත වන විට මිනිස් සංහතිය ද ලොවින් තුරන් වී යනු ඇති බවට ප්‍රසිද්ධ අනාවැකියක් තිබේ. එම කෘමි විශේෂය අප ජීවිතවලට එතරම් ම වැදගත්ද? එනමුත් මී මැස්සන් පිරී සිටින මී වදයක් දුටු විට අප එතැනින් ඉවත් වීමට උත්සාහ කරන්නේ උන් ඇවිස්සුණහොත් විදිතැයි සිතා ය. 

මී මැසි දළට එතරම් බිය ගත් මිනිසුන් අතර එම දළ ඇසුරු කර ගනිමින් රෝග සුව කරන වෛද්‍යවරු ද සිටිති. කිසිදු වෛද්‍ය උපාධියක් නොමැති වුව ද ගාසා තීරයේ වෙසෙන ඇතැම් පුද්ගලයෝ සිය නිවසේ දී ම සකස් කර ගත් මී මැසි පෙට්ටිවල ජීවත් වන මී මැස්සන් යොදා ගනිමින් බොහෝ රෝග සුව කරති. එම රෝග අතර මස්තිෂ්ක ආඝාතය, ඉරුවාරදය, බෙල්ලේ හා කොඳුඇට පෙළෙහි ඇද වීම්, හිසකෙස් හැළීම, සමේ රෝග, පිළිකා පමණක් නොව ඔටිසම් වැනි රෝග තත්ත්ව ද තිබේ. 

මී මැසි ප්‍රතිකර්මය ඔවුන්ගේ පිය පරම්පරාවෙන් පැවතගෙන එන ක්‍රමයකි. එම වෛද්‍යවරුන් පවසන්නේ සුව කළ නොහැකි බවට නිගමනය කොට සම්මත රෝහල්වලින් පිට කෙරෙන රෝගීන්ගෙන් බොහොමයක් තමන් යටතේ සුවපත් වූ බව යි. ප්‍රතිකාර ක්‍රමය ඉතා පහසු ය. රෝගය පැතිරී ඇති ප්‍රදේශය නිවැරදි ව හඳුනා ගෙන, ට්වීසරයක් ආධාරයෙන් අල්ලා ගත් මී මැස්සෙකු අදාළ ස්ථානය වෙත තබා තද කරනු ලැබේ. මේ සඳහා මිනිත්තු කිහිපයක කාලයක් ගත වන අතර දින කිහිපයක් දක්වා ප්‍රතිකාරය දීර්ඝ කළ යුතු අවස්ථා ද තිබේ. එහෙත් මෙහි අතුරු ආබාධ පිළිබඳ එරට රජය අනතුරු අඟවා ඇත.

වැලි ප්‍රතිකාරය.

හොඳින් ඉර පායා ඇති දිනක දහවල නිරුවත් දෙපයින් වැලි පොළොව මත ඇවිදීම ඔබට කුමන අන්දමේ හැඟීමක් ගෙන දේවි ද? ගිනි ගෙන දැවෙන ඊජිප්තු කාන්තාරයේ බටහිර දෙසට වන්නට පිහිටි “දාක්රෞර්” කඳු අසල “සිවා” ක්ෂේම භූමිය පිහිටා තිබේ. මෙහි වෙසෙන ජනයා සිය ශරීර සෞඛ්‍යය පතා වැලි කතරේ නිරුවත් දෙපයින් ඇවිද යනවා පමණක් නොව, සිය ශරීරය වැල්ල මත ගිල්වා තැබීමට ද පසුබට නොවෙති.

ඇසෙන විටත් සිරුර ම ගිනි ගන්නවා සේ දැනුණ ද ප්‍රදේශවාසීන්ට අනුව මිනිස් ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් ව පවත්වාගෙන යාම සඳහා මෙම උනුසුම්කරණය අත්‍යවශ්‍ය ය. තව ද මෙමඟින් රූමැටික ප්‍රදාහය, හන්දිපත් වේදනාව පමණක් නොව කාන්තාන්ගේත් පුරුෂයින්ගේත් ලිංගික අසාරතාව හෙවත් වඳභාවයට ද ප්‍රතිකාර ලබා දෙයි.

දහවල් දොළහත් දෙකත් අතර, එනම් සෙල්සියස් අංශක 46 ක පමණ උනුසුමක් ඇති වේලාවක “සිවා” ක්ෂේම භූමිය වෙත යන පුද්ගලයෙකුට එහි තැනින් තැන වළවල් හාරා තිබෙනු දැකිය හැකි ය. ප්‍රතිකාර ලැබීමට සතුටු නම් ඔබේ ඇඳුම් ඉවත් කොට, හිස පමණක් පිටතට සිටින සේ මුළු ශරීරය ම වැලි වළට ගිල්වා, වසා දමනු ලැබේ. එලෙස මිනිත්තු පහළොවක් පමණ සිටි පසු කිහිපදෙනෙකු ඒක් වී ඔබ ඉවතට ගැනෙනු ඇත. පසු දින ද පැමිණ එම භූමි ප්‍රදේශයේ ම අටවා ඇති කූඩාරමක් යට විවේක සුවයෙන් සිටිය හැකි ය. සතියක පමණ කාලයක් මෙලෙස උනුසුම ලබා ගැනීමෙන් ඔබේ ප්‍රතිකාරය අවසන් වේ. 

සීත ජල ප්‍රතිකාරය.

රුසියාවේ “ක්‍රැස්නොයාස්ක්” ප්‍රදේශවාසීහු එක් අපූරු ස්නානයක් සිදු කරති. ඒ, සිසිර සමයේ ජල ස්නානය යි. ශීත කාලයට ඔවුන්ගේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ තිහක් පමණ වේ. බොහෝමයක් ජලාශ සීතට මිදෙද්දී ඉතිරි වී ඇති නොමිදුණු එහෙත් දරා ගත නොහැකි තරම් ශීත වී ඇති ජලයට ඔවුන් පනිනුයේ කිසිදු පැකිළීමකින් තොරව ය.

මෙම ප්‍රතිකර්මය ලබා ගැනීමට වයස් භේදයක් නැත. බොහෝ අයට එය ත්‍රාසජනක ක්‍රීඩාවකි. විශේෂයෙන් ම “යෙනිසෙයි” ගංගාව ආශ්‍රිත ව මෙම ප්‍රතිකර්මය සිදු කෙරෙන අතර අදාළ පුද්ගලයින් එක් ව සංගමයක් ද පිහිටුවාගෙන තිබේ. ස්නානය අතරතුර ඔබට කිසියම් අපහසුතාවක් දැනුණහොත් උපකාර වීම පිණිස එම සාමාජිකයෝ සූදානම් වී සිටිති. දියට බැසිවුන් පවසන්නේ එයින් ඔවුන්ගේ සම්පූර්ණ ශරීරය ම මහත් සැහැල්ලුවකට භාජනය වූ බව යි. ඒ පවසන සැහැල්ලුව කෙසේ වෙතත්, ශීතලට නොමැරී බේරෙන්නට ලැබුණහොත් එය ඔබේ වාසනාවකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author