Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැජික්වලට මැලේරියාව පරද්දන්න පුළුවන් ද?

වසු පැටවුන් ජලභීතිකාව සුව කළ යුගය.

පුරාණ රෝමයේ මිනිසුන් හට බොහෝ සතුන් සිටි බව අප දන්නා කරුණකි. එබැවින් ජලභීතිකාව යනු ඔවුනට ඉතා සුලබ ව වැළඳුණු රෝගයක් විය. අද වන විට මේ සඳහා එන්නත් බොහෝ ගණනකින් සමන්විත ප්‍රතිකාර මාලාවක් තිබේ. එනමුත් ආදි යුගයේ විසූ වෛද්‍යවරුන් සිතුවේ ජලභීතිකාව යනු ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි රෝගයක් බව යි. 

ස්වාභාවික විද්‍යාඥයෙකු හා කතුවරයකු වන ප්ලිනි ද එල්ඩර්ට අනුව, පිස්සු බල්ලෙකු දෂ්ට කළ ඕනෑ ම පුද්ගලයෙකුගේ තුවාලය හැකි ඉක්මනින් විවෘත කළ යුතු ය. පසුව වසු පැටවෙකු මරා, උගේ මස්වලින් කොටසක් රුධිරය පිටින් අමුවෙන් ම රැගෙන තුවාලය ආවරණය කොට ප්‍රතිකාර කළ යුතු ය. එවිට රෝගියා සුව වීමේ මුල් අදියරට ගෙන ආ හැකි වේ. දෙවන අදියර වශයෙන් රෝගියා හට ඌරෙකුගේ ශරීරයෙන් ගත් මේදය ස්වල්පයක් දෙහි සමඟ මිශ්‍ර කොට ආහාරයට ලබා දෙනු ලැබේ. ඒ අතර ම රෝගියා හට වයින් සහ තම්බා ගත් බැජර් සත්ත්වයෙකුගේ අසූචි එකතු කොට සාදන ලද මිශ්‍රණයක් පානය කිරීම සඳහා දෙනු ලැබේ. නියමිත දින ගණනකට පසු බල්ලා විසින් සපා කන ලද රෝගියා සම්පූර්ණයෙන් ම සුව වන බව කියවිණි. එනමුත් මේ අතරතුර කාලයේ දී ජලභීතිකා ලක්ෂණ පහළ වුවහොත් කුමක් කළ යුතු ද යන්න පැහැදිලි නැත.

කැරට් තම්බමු.

1740 වසරවල අග භාගයේ දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද Primitive Physick, or, An Easy and Natural Method of Curing Most Diseases ලිපි මාලාවේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් ඇදුම රෝගය සඳහා අපූරු ප්‍රතිකාරයක් දක්වා තිබිණි. ජෝන් වෙස්ලි නම් එවැන්ජලිස්ත පියතුමෙකු වූ ඔහු ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා පුරා සති දෙකක් මුළුල්ලේ තම්බා ගන්නා ලද කැරට් පමණක් ආහාරයට ගන්නා ලෙස යෝජනා කළේය. එමඟින් තමාගේ ඇදුම රෝගය සුව කර ගැනීමට ඔහුට හැකි වී තිබිණි.

හදවත් රෝගවලට විනාකිරි.

හෘද රෝග සඳහා සිදු කළ හැකි පහසු ප්‍රතිකාරයක් වශයෙන් විනාකිරි පොඟවා ගත් රෙදි කැබැල්ලක් භාවිත කළ හැකි ය. පූජක වෙස්ලිගේ පර්යේෂණවලට අනුව කිසියම් රෝගියෙකුගේ හෘද ස්ඵන්දනය අක්‍රමවත් වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි නම් ඔහුට ඉතා ඉක්මනින් ශීත ජලය පයින්ට් එකක් බීමට දිය යුතු ය. දෙවනුව රෝගියා ඇඳෙහි දිගා කොට, දළ රෙද්දක් ගෙන, එය පොල් විනාකිරි තුළ හොඳින් පොඟවා රෝගියාගේ පපුව වැසෙන සේ එළා තැබිය යුතු ය. එමඟින් හෘදය තුළ හටගත් ගැටලු සහගත බව සමනය වනු ඇත.

විදුලිය සහ දත්.

දත් කැක්කුම ඇති රෝගීන් සඳහා විදුලි සැර ඇල්ලීමේ ප්‍රතිකාරය සිදු කළ යුතු බව ආදි යුගයේ විසූ වෛද්‍යවරු යෝජනා කළහ. විද්‍යුත් චිකිත්සාව පිළිබඳ මෙම අදහස 1700 ගණන්වල දී තරමක් අලුත් එකක් වූ නමුත් අපස්මාරය, අංශභාගය, ලිංගික බෙලහීනත්වය, කොකු පණු රෝගය සහ තවත් බොහෝ රෝග සඳහා 1900 ගණන්වල මුල් භාගය වන තෙක් එය නිතිපතා භාවිතා කරන ලදී. ඇතැම් අය තම ශරීර සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාම සඳහා පුරුද්දක් වශයෙන් විදුලි සැර වද්දා ගැනීමට සතුටු වූහ. 

රෙඩ් හොට් පෝකර් මල්.

නාසයෙන් ලේ වැගිරීම වළක්වා ගැනීම සඳහා පුරාණ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ, රෙඩ් හොට් පෝකර් මල් ය. ඒවායින් කිහිපයක් ගෙන නාසයට යටින් තබා ගැනීමෙන් ලේ ගලා යාම ක්ෂණයෙන් නැවැත්විය හැකි බව කියවේ. එසේ ම ලිනන් තුවායක් ගෙන විනාකිරිවල හොඳින් බහා තබා, පසුව පුළුස්සා, එහි දුම නාසයට ඇල්ලීමෙන් ද ලේ ගලනය නැවතිය හැකි බව කියවිණි.

තව ද නාසයෙන් ලේ ගැලීමක් සිදු වෙමින් පවතින අවස්ථාවක දී ඔහුගේ ශරීරයේ වෙනත් කොටසක් තුවාල කොට එම ස්ථානයෙන් කිසියම් රුධිර පරිමාවක් ඉවතට ගලා යාමට සැලැස්වීම ද එක් උපක්‍රමයකි. එයින් නාසයෙන් සිදු වන ගලනයේ පීඩනය ක්‍රමයෙන් අඩු වී යයි. නිදසුනක් ලෙස වැලමිට වැනි ස්ථානයක් මෙසේ තුවාල කෙරෙයි. 

එකල සෑම පුද්ගලයෙකුගේ ම ශරීරයේ දෝෂ හතරක් ඇති බවට විශ්වාස කෙරිණි. එනම්, කළු, කහ, සෙම් සහ රුධිරය යන සතරයි. ඕනෑම රෝගයක් හට ගන්නේ දෝෂයේ අසමතුලිතතාවකිනි. ලේ වගුරුවාලීම යනු ඒවා නැවත සමතුලිත කිරීම සඳහා කළ හැකි ප්‍රතිකාරයකි. මධ්‍යතන යුගයේ දී යුරෝපානු ප්‍රදේශවල පැතිර ගිය වසූරිය සහ රක්තවාතය ආදී ලෙඩ රෝග සඳහා ශරීරය තුවාල කොට සිදු කළ මෙවැනි ලේ වැගිරීම් භාවිත කරන ලදී.

මැජික් වචන භාවිතයෙන් මැලේරියාව පරද්දමු.

මැලේරියාව සුව කිරීම සඳහා යොදා ගැනුණු අමුතු ඓතිහාසික ප්‍රතිකාර ක්‍රම රාශියක් ඇත. එනමුත් ඒවායින් බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ප්‍රතිකාරය වූයේ ක්‍රි.ව. 3 වන සියවසේ දී රෝම වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන ලද ඉන්ද්‍රජාලික චමත්කාරයකි. 

මෙහි දී රෝගියාට ලිවීම සඳහා කඩදාසියක් ද පැන්සලක් ද සපයනු ලබන අතර ඔහු විසින් කළ යුත්තේ සෑම පේළියක දී ම එක් අකුර බැගින් අඩු කරමින් Abracadabra යන වචනය ලිවීම යි. අවසානයේ දී පළමු අකුර වන A අකුර පමණක් පේළියේ ඉතිරි වූ විට අදාළ ලේඛනය ත්‍රිකෝණයක් ආකාරයෙන් රෝගියාට දිස් වනු ඇත. පසුව මෙම කඩදාසිය හණවලින් බැඳ දින නවයක් ගත වන තුරු ගෙල වටා පැලඳගෙන සිටීමට රෝගියා හට උපදෙස් දෙනු ලැබිණි. අදාළ දින නවය තුළ දී එම ප්‍රතිකාරය සාර්ථක නොවී නම්, හණ මිටිය එසේ ම තිබියෙ දී සිංහයෙකුගේ ශරීරයෙන් ගත් මේදය රෝගියාගේ ශරීරය පුරා අතුල්ලනු ලැබේ. එවිට රෝගය සහමුලින් පහ වන බවට විශ්වාස කෙරිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author