ලෝක ප්‍රජාව දැඩි අවධානයෙන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 22ක් රැදවුම්භාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (පෙබරවාරි 7) නියෝග කළේය.
මෙම ඇප නියෝගය හලාවත මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද අභියාචනාධිකරණයෙන් නියෝග කෙරිණ.
තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේ මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබා දෙන ලදි.
නීතීඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත් අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන් ට අන්තගාමී දේශන පැවැත්වීම යන චෝදනා සම්බන්ධයෙනි.
මාස 22ක් රැදවුම්භාරයේ පසුවූ නීතිඥ හිජාස් හිස්බුල්ලා ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට අදාළව ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරු මහාධිකරණයෙන් ඉල්ලීම් 02 ක් ඉදිරිපත් කළත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විණි.
ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (2) වගන්තිය යටතේ ඇප මත මුදා හැරීමට මහාධිකරණයට බලයක් නොමැතිය යන කරුණ සදහන් කරමිනි එහෙත් ඊට එරෙහිව නිතීඥ හිජාස් හිස්බුල්ලාගේ නීතිඥවරුන් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා ට ඇප නියම කිරීම සම්බන්ධ නියෝගය පෙබරවාරි 7 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය පෙබරවාරි 2 වනදා තීරණය කළේය.
ඇප නියම කිරීමේ බලය මහාධිකරණයට නොමැති බවත් එම බලය ඇත්තේ අභියාචනාධිකරණයට බවත් පවසමින් පුත්තලම මහාධිකරණය මගින් පසුගියදා නීතිඥ හිජාජ් හිස්බුල්ලාගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කර ඇති බවට මෝසමක් මගින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කළ කරුණු දැක්වීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබුණි.
වසර දෙකකට ආසන්න කාලයක් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා යළි ඉදිරිපත් කළ ඇප ඉල්ලීමත් ජනවාරි 28 දා පුත්තලම මහාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
ඒ, ඔහුට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව ද අධිකරණයට දැනුම් දී ඇති පසුබිමක දී ය. ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව විදේශ අමාත්‍යවරයා ද මෙරට රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවේ ප්‍රකාශකර තිබිණි.
2020 අප්‍රේල් 14 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරකයන්ට “ආධාර හා අනුබල දීම” සහ “ප්‍රජාවන් අතර ආගමික සංහිඳියාවට හානිකරයැ යි සැලකෙන ක්‍රියාකාරකම්වල නියැලීම” යන චෝදනා මත පදනම්ව ය.
වසරකට පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ නිල වශයෙන් නඩු පවරනු ලැබුවේ, “වාර්ගික අසමගිය ඇති කිරීම” යන චෝදනාව යටතේ යි. පුත්තලම ප්‍රදේශයේ ඉස්ලාමීය පාසලක අන්තවාදී දේශනයක් පැවැත්වූයේයැ යි ඔහු චෝදනා කෙරිණි.
මාස 18කට අධික කාලයක් නඩු පැවරීමකින් තොරව රැඳවුම් නියෝග මත ඔහු අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවා තැබිණ.
නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව සම්බන්ධයෙන් දැඩි විවේචන සහ, ඔහු රැඳවුම් බාරයෙන් මුදාහැරිය යුතු බවට දේශීයව හා ජාත්‍යන්තරව දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින පසුබිමක, පසුගිය 28 වැනිදා ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණ.
ඒ, ඔහුට ඇප ලබාදීමේ බලයක් සිය අධිකරණයට නොමැති බව පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය තීරණය කිරීම හේතුවෙනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය යටතේ එවැනි සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් පුත්තලම මහාධිකරණය 2021 නොවැම්බර් 19 වැනිදා ද නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
ඊට එරෙහිව නීතිඥ හිජාස් හිස්බුල්ලා අභියාචානාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකර ඇත.
එම පෙත්සමෙන්, මහාධිකරණ නියෝගය බල රහිතකර හිජාස් හිස්බුල්ලා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.
නීතීඥ හිජාස් හිස්බුල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ජනවාරි (20) වැනිදා කැඳවූ අවස්ථාවේ දී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා පවසා සිටියේ නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් මහාධිකරණයෙන් ඇප ඉල්ලීම පිළිබඳව විරුද්ධ නොවන බව යි.
ඔහුට ඇප ලබාදීමට නීතිපතිවරයාගේ විරුද්ධත්තවයක් නොමැති බව රජයේ නීතිඥවරු ප්‍රකාශ කිරීම හේතුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නීතිඥ කණ්ඩායම ඔහු වෙනුවෙන් පසුගිය 28 වැනිදා පුත්තලම මහාධිකරණය හමුවේ යළි ඇප ඉල්ලා සිටියෝ ය.
එහෙත් එම ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකු කියා සිටියේ, නීතිපතිවරයාගේ අභිමතය අනුව ඇප ලබාදීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රතිපාදන ඇතත්, නඩු විභාගය මේ වන විට ආරම්භ කර තිබීම හේතුවෙන් ගැටලුවක් මතුව ඇති බව යි.
නඩුව මේ වන විට ආරම්භ වී තිබීම හේතුවෙන් ඇප ලබාදීමට ඇති නීතිමය ප්‍රතිපාදන අවම බව ද මාධ්‍ය අමතමින් ඔහු පවසා සිටියේ ය.
විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට පණිවිඩයක් දෙයි
ජනවාරි 26 වැනි දා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ අමාත්‍යංශයේ දී පැවැත්වුණු නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුරේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය.
පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම, අඛණ්ඩ ක්‍රියාකරකම්වල නිරතවීමේ අංගයක් වශයෙන් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාල ප්‍රගතිය පිළිබඳ තොරතුරු හුවමාරුකර ගැනීම මෙම හමුවේ අරමුණ වූ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.
මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යන කරුණු, 2021 වසරේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හමුවේ තමන් යළි අවධාරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේ ය.
මෙවැනි පසුබිමක් තුළ, ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගීතාවයෙන් සහ සංවාදශීලී ප්‍රවේශ ඔස්සේ සාධනීය ලෙස සම්බන්ධ වීම පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් වගවීම, ප්‍රතිස්ථාපන යුක්තිය සහ අර්ථාන්විත ප්‍රතිසන්ධානය යනාදී ප්‍රයත්නයන් අරමුණුකර ගනිමින් ශ්‍රී ලංකා රජය සැලකිය යුතු මට්ටමක පියවර ගෙන ඇති බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, එහි ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලෙස මෙම ආයතනවල ප්‍රධානීන්ට ආරාධනා කළේ ය.
ඒ අනුව, හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ (OR) ධාරා විජයතිලක, තිරසාර සංවර්ධන කවුන්සිලයේ (SDC) අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලයේ (ONUR) අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) ආරක්ෂණ හා නීති අංශයේ ප්‍රධානී ජේ. තට්පරන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි (HRCSL) විසින් පසුගිය වසර තුළ දේශීය ආයතන විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කර තිබේ.
වසර 43කට පසු, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට සංශෝධන
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් වසර 43කට පසු එය සංශෝධනය කෙරෙන බව විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දුන්නේ ය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එක්කිරීමට නියමිත සංශෝධන කිහිපයක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ගැසට් පත්‍රය නිකුත්වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරය මේ මස අග දී ආරම්භවීමට නියමිතව ඇති පසුබිමක යි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙන ඒමට යෝජිත සංශෝධන මඟින්,
- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බාරයට ගන්නා සැකකරුවෙකුට මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අදාල විධිවිධාන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීමට හැකියාව ඇත
- නීතිඥවරයෙකුට රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙකු වෙත ප්‍රවේශවීමේ හැකියාව සහ එම තැනැත්තාට ඥාතීන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව
- රඳවා තබා ගැනීමේ නියමයක් යටතේ යම් තැනැත්තෙකු රඳවා තබාගන්නා කාල සීමාව මාස 18 සිට මාස 12 දක්වා අඩු කිරීම සඳහා ද මෙම සංශෝධන මඟින් ප්‍රතිපාදන සැලසේ
- රැඳවුම් ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත්වරයෙකුට සැකකරුගේ තත්ත්වය පිළිබදව සොයා බැලීමට ඉඩකඩ හිමි වේ
- සැකකරු වධහිංසාවකට ලක්ව නොමැති බව තහවුරු කිරීම සදහා එම තැනැත්තා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට ද අදාළ සංශෝධන මඟින් අවස්ථාව හිමිවනු ඇත
- සැකකරුවන්ට අදාල නඩු කටයුතු අප්‍රමාදව අවසන් කිරීමට කටයුතු කිරීම උදෙසා දිනපතා නඩු විභාග පැවැත්වීමේ විධිවිධාන
1979 සම්මත වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙලෙස සංශෝධනයක් එක්කෙරෙන්නේ වසර 43කට පසුව යි.
යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කිරීමටත්, අවසන් අනුමැතිය සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙලෙස සංශෝධනය කෙරෙන්නේ මාස කිහිපයක් මුළුල්ලේ පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව බව විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට පැහැදිලි කළේ ය.
ඒ අනුව, රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැනීම, දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම, පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබාදීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී පරිච්ඡේද සම්බන්ධයෙන් වන සුවිශේෂී සංශෝධන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධනවලට ඇතුළත් වනු ඇති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් හෝ සීමා කිරීමේ නියෝගයක් ලබා ඇති ඕනෑම පුද්ගලයෙකුට එම නියෝගය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.
මීට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විඳිමින් සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකුට 2021 වසරේ ජූනි මාසයේ දී ජනාධිපති සමාව හිමි වූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ චෝදනා යටතේ දීර්ඝ කාලයක් අධිකරණ අත්අඩංගුවේ පසුවන රැඳවියන් නිදහස් කිරීමට නීතිමය හා පරිපාලන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, 2022 වසරේ ජනවාරි 13 වැනි දින වන විට තවත් පුද්ගලයින් 13 දෙනෙකු නිදහස් කර ඇතැ යි විදේශ අමාත්‍යංශය කියයි.
නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නඩු කටයුතු සම්බන්ධයෙන් මෑතකාලීනව ලබා ඇති ‘ප්‍රගතිය’ පිළිබඳව ද විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවේ සඳහන් කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ඔහුට නඩුවක් පවරා ඇති බවත්, විත්තිකරුට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියේ ය.
© BBC සිංහල
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්