Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මානව හිමිකම් කඩවීමට අදාළව කරුණු සෙවීම වෙනුවෙන් පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාවත් ජනපතිට

මියගිය ත්‍රස්තවාදීන් සැමරීමේ ක‍ටයුතු බෑ : යුද්ධයෙන් මියගිය ඥාතියෙක් වේ නම් පුද්ගලිකව සැමරීමේ අයිතිය

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දී තිබෙනවා.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසම පත් කිරීමට පියවර ගෙන තිබුණා.

එම කොමිසමේ පළමු වාර්තාව 2021 ජුලි මස 21 වන දින ජනාධිපතිවරයා වෙත ලබා දීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේ දී යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර ඇත.

2015 දී පත් කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාදීමට ද එහිදී නිර්දේශ කරතිබෙනවා.

ආර්ථික වශයෙන් නැගී සිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පිරිස ඉල්ලා සිටි අතර ඒ සඳහා ද කොමිසමේ නිර්දේශය හිමිව ඇති බව සඳහන්.

ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේ දී යම් ඥාතියෙක් මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසමේ නිර්දේශ කර ඇති අතර ලබන ජුනි මාසය වන විට එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට හැකි වෙතැයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පවසා තිබෙනවා.

About The Author