Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්ද ගෝඨාභය බැසිල් දේශපාලන බර්මියුඩාව සහ නැවත හමන මහින්ද සුළඟ

මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ බරපතළ පිරිහීමකට ලක්ව ඇති වත්මන් ආණ්ඩුව මේ වන විට විපක්ෂ කාර්යභාරය ද ඉටු කිරීමට ද පටන්ගෙන ඇති බව පැහැදිලියි.

ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ කණ්ඩායම් විසින්ම විපක්ෂය ලෙස පෙනී සිටිමින් එම කාර්යය සඳහා උර දෙන බව දේශපාලනය විමසා බැලීමේදී පැහැදිලි වීම වි⁣ශේෂත්වයක්.

මේ වන විට මෙරට ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන සමගි ජන බලවේගය පක්ෂය ඉටු කරන විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඔවුන් ආණ්ඩුවේ ජනතා විරෝධි කටයුතු සඳහා තම විරෝධය පළ කළද ඒ තුළ විධිමත් සංවිධානගත ස්වරූපයක්ද පෙනෙන්නට නැහැ.

දෙමළ ජාතික සන්ධානය යම් ආකාරයක ප්‍රගතිශීලී මුහුණුවරකින් ආණ්ඩුවේ මහජන විරෝධී කටයුතු සඳහා හඬ නැගුව ද ඔවුන් යම් ලෙසකින් එක් ජන වර්ගයකට පමණක් සීමා වී දේශපාලනයේ නිරත වන බව සමාජගත වී තිබීම හේතුවෙන් ඔවුන්ගේ ආණ්ඩු විරෝධය ද පුස්සක් බවට පත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තම පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පත්කර එවා ඇති නමුත් එක්සත් ජාතික පක්ෂය හරහා රට තුළ මතුව ඇති ‍ ප්‍රධාන ප්‍රශ්න කිසිවක් සම්බන්ධයෙන් වත් සිය අදහස ශක්තිමත් ලෙස සමාජගත කරන ආකාරය පෙනෙන්නට නැහැ.

එක්සත් ජාතික පක්ෂ සතු ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු හැරුණු විට සියල්ල පවතින්නේ නිහඬවයි.

ආණ්ඩුවම විපක්ෂය වී : විපක්ෂය ම ආණ්ඩුව වීම

ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා රට තුළ නිර්මාණය වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් යම් සාධනීය මැදිහත් වීමත් යම් ආකාරයකට හෝ සිදු කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව පෙනෙන්නට තිබුණත් ඔවුන්ට ඇති පාර්ලිමේන්තු නියෝජනය අවම වීම සහ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පවතින පාක්ෂිකයින්ගේ අඩුව ඔවුන්ගේ සටන දුර්වල කර තිබෙනවා.

ඒ අතර වාරයේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තමා ජනවරම ලබා දුන් හැට නම ලක්ෂය නියෝජනය කළ ජනතාවගෙන් බොහොමයක් ඉබාගාතේ යමින් සිටින්නේ තමන්ට විරුද්ධව සමාජයේ සෙසු ජනතාව ගොඩනගන විරෝධයන් තුළ අසරණ වෙමින්.

එවන් වට පිටාවක් තුළ “අපි මේ ආණ්ඩුව ගෙනාව තමයි හැබැයි ගෙනාවෙ මේවා කරන්න නෙමෙයි, වැරැද්දට අපි විරුද්ධයි” යන සටන්පාඨය එම ජනතාවගේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන එන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

මේ තත්ත්වය තුළ ආණ්ඩුවම විපක්ෂයට ඇඳ සිටින්නේ හැට නම ලක්ෂයේ ජනතාවගේ කොටසක් ද තම සටනට ඇඳා ගනිමින්, රට තුළ වෙනම දේශපාලන සංස්කෘතියක් නිර්මාණය ද කරමින් වීම විශේෂත්වයක්.

නැවත හමන මහින්ද සුළඟ

මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන කණ්ඩායම් තුනක් ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති බවත් පෙනෙන්නට තිබෙනවා.

මෙහි එක් කඳවුරක ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන්නේ ආණ්ඩු පක්ෂයේ සෙසු පක්ෂ නියෝජනය කරන නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමතිවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දුමින්ද දිසානායක සහ දයාසිරි ජයසේකර වැනි ඇමතිවරුන් බව සමාජගතව තිබෙනවා.

තවත් කඳවුරක් පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් සමඟ සිටින බැසිල්වාදී පොහොට්ටු පසුපෙළයි.

පිරිස් බලයෙන් අඩු නමුත් ජනාධිපතිවරයා වටාද පිරිසක් එක් වී සිටිනවා.

මේ වන විට කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් තීරණ අනුමත කිරීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බලහත්කාරයෙන් සහ අත්තනෝමතික ලෙස ඇමෙරිකාව සමග LNG ගිවිසුමක් සඳහා අත්සන් කිරීමේ සිදුවීම ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවම නියෝජනය කරන මෙම කණ්ඩායමේ ප්‍රධානතම සටන් පාඨයක් බවට පත්ව තිබෙනවා.

නමුත් රට LNG ගනුදෙනුවෙන් එහා ගිය තවත් අර්බුද ගණනාවක ගොදුරක් බවට පත්ව තිබෙනවා.

පොහොර තහනම හේතුවෙන් ඇති වන නියමිත සහගතය, ඉහල යන ආහාර මිල, නීතියේ ස්වාධිපත්‍යය ගිලිහීයාම, චීන අසූචි නෞකාව, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීම, කොළඹ නගරයේ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩම් රැසක් පිටරටට විකුණා දැමීම, ඉන්ධන අර්බුදය, විදුලි බල අර්බුදය, ගුරු විරෝධතා මෙන්ම කොරෝනා අවදානම ඉහළ යාම ද සමාජයට අමතක කරන දමමින් LNG කොඩිය එසවීමට මෙම පිරිස කටයුතු කර තිබෙනවා.

‘ මහජන මන්ත්‍රණ සභාව’ නමින් වැඩපිළිවෙළක් ද ආරම්භ කරන්නේ ඒ අනුවයි.

එහි කලඑළි මංගල්‍යය පසුගිය දා සිදු කෙරුණා.

දේශපාලනිකව සියුම්ව අවධානය යොමු කිරීමේ දී පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණ වන්නේ මෙම මහජන මන්ත්‍රණ සභාව නියෝජනය කිරීම සඳහා එක්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදී පරාජය වීමෙන් අනතුරුව ඔහු නැවත දේශපාලනය සඳහා කැඳවාගෙන ඒම වෙනුවෙන් ගොඩනැගුණු මහින්ද සුළඟම නියෝජනය කළ පිරිස බවයි.

එසේනම් මේ හමන්නේ මහින්ද සුළඟක් දැයි ප්‍රශ්නයක් මතුවනවා.

මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනයේ සූක්ෂ්ම මෙන්ම, බල දේශපාලනයෙහි උපක්‍රම අතින් කෙල පැමිණි දේශපාලන නායකයෙක්.

ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින මහජන විරෝධය තුළ එය කළමනාකරණය කර ගැනීම මේ වන විට ආණ්ඩුව හමුවේ ප්‍රධානතම අභියෝගය වී තිබෙනවා.

සහෝදර සමාගම සහ එළුවාගේ ඇටය

ලංකාවේ පමණක් නොව ලෝක දේශපාලනය තුළ ජනතා පරමාධිපත්‍ය බලය ද උරගා බැලීමට අවස්ථාවක් ඇති රටකි සහෝදර සමාගමක් සහ පවුලක් විසින් රාජ්‍ය බලයෙන් මෙන්ම අයවැය තුළ වැඩි කොටසක් අත්පත් කරගත් රටක් වේ නම් එය ශ්‍රී ලංකාව බව රහසක් නොවේ.

ඔවුන් මෙරටට හඳුන්වා දුන් දේශපාලනය තුළ දේශපාලන කුමන්ත්‍රණ, උපාය උප්පරවැට්ටි සියල්ලෙහිම ප්‍රධාන වාසි හිමි වන්නේ ඔවුන්ටම බව ඔවුන්ගේ දේශපාලන භාවිතාව අවස්ථා ගණනාවක දීම තහවුරු කර අවසන්.

රාජපක්ෂ දේශපාලන මෙගා ටෙලියේ පිටපත

හද්දා පිටිසර ගිරුවායේ උපන් මේ පොළොවේ සුවඳ හඳුනන, ජනතා හදගැස්ම හොඳින් හඳුනාගත් රාජපක්ෂලා සමග සැසදීමේදී සජිත් ප්‍රේමදාසලා , රනිල් වික්‍රමසිංහලා සහ අනුර කුමාරලා යනු රාජපක්ෂලා අතින් දශක දෙකක පමණ කාලයක සිට මෙරට ලියැවෙන රාජපක්ෂ දේශපාලන මෙගා ටෙලියේ පිටපතේ සුළු චරිත පමණයි.

කෙසේ වෙතත් අවස්ථා කීපයකම රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතර විරසකයක් ඇති බව විපක්ෂයේ බොහෝ දෙනෙකු විශ්වාස කළ අතර ඔවුන් සිතා සිටියේ සහෝදරයන් කා කොටා ගනිමින් පාලනය අවුල් කරගනු ඇතැයි කියාය.

එක කුස උපන් එක බඩවැලෙහි ගුණ සුවඳින් බැඳී ඇති රාජපක්ෂ සහෝදරවරුන් කිසිදා භේද කළ නොහැකි බව ද මේ වනවිට පැහැදිලි වී අවසන්.

ලොක්කා නැත්තං මද්දුමයාට, මද්දුමයාට බැරිනම් හිච්චියාට, හිච්චියාට බැරිනම් ආයිත් ලොක්කාට, ලොක්කාට බැරිනම් දරුවෙකුට එහෙමත් නැත්නම් හාමිනේ කෙනෙකුට උරුමය පවරා දෙන මේ අපූරු සහෝදර බැඳීම කොළඹ හතේ සහෝදර බැදීම් වලට වඩා ඉහළින් ඇති බව කවුරු කවුරුත් දැන් අවබෝධ කරගත යුතුයි.

රාජපක්ෂ සොයුරන් අතර අභ්‍යන්තර අර්බුද පුපුරාගොස් දිගටම තමන්ට බලය හිමි වේ යැයි සිතා සිටී රනිල් වික්‍රමසිංහලාට සිදුවූයේ එළුවගෙ ඇටය වැටෙන තුරු බලා සිටිය නරියාට සිදු වූ වැඩේ වගේ එකකි.

එසේනම් බැසිල් රාජපක්ෂ එරෙහි විමල් වීරවංශලාට , ගම්මන්පිලලාට , වාසුලාට සිදුවිය හැක්කේ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අරියාදු කම් පෙන්වන විමල් වීරවංශලාට , ගම්මන්පිලලාට , වාසුලාට සිදුවිය හැක්කේ කුමක්ද?

එක්කෝ ඔවුන් රාජපක්ෂ පවුලේ කෑම මේසේ කටගැස්මක් විය යුතුය.

නැතිනම් කෑම මේසයේ කෙසේ වෙතත් අගුවක හෝ වාඩි වී ඔවුන් සමගම ආහාර බුදින්නන් විය යුතුය.

මහින්ද ගෝඨාභය බැසිල් දේශපාලන බර්මියුඩාව

රාජපක්ෂලාට එරෙහිව නැගී සිටින්නන් අවසානයේ මහින්ද ගෝඨාභය බැසිල් දේශපාලන බර්මියුඩාවට හසුව අතුරුදන් වීමට සිදුවන බව ද මෙරට දේශපාලනය පිළිබඳ විමසා බැලීමේදී අපහසු නැත.

එසේනම් එය හොඳින්ම දන්නා විමල්ල්ලා ගම්මන්පිලලා මේ සිදු කරන්නේ කුමක්ද?

දේශපාලන කියවීම් සහ විවරණයන්ට අනුව මේ කරන්නට යන්නේ දුර්වල විපක්ෂය වෙනුවට ආණ්ඩුව තුළ ම ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂ නිර්මාණය කොට එය ජන මනස තුල තහවුරු කිරීමයි.

එහිදී මෙරට දේශපාලනයේ ජනතා හදවත් සොරා ගන්නා මහින්ද රාජපක්ෂ නම් දේශපාලන ප්‍රතිරූපය නැවත වතාවක් තහවුරු කිරීම ඔවුන්ගේ කාර්යයයි.

එය සාධාරණය කළ හැකි එකම තර්කය වන්නේ කිසිම අවස්ථාවක මෙම කණ්ඩායම මහින්ද රාජපක්ෂ සම්බන්ධ දේශපාලන හෝ පුද්ගලික විවේචනයට නොයාමයි.

සියලු දේවල් සම්බන්ධයෙන් බලපෑම් කළ හැකියි රටේ අග්‍රාමාත්‍ය ධුරයද හොබවන මහින්ද රාජපක්ෂට මේ වන විට රට තුළ සිදුවන මෙම අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් මැදිහත්විය හැකියි.

මක්නිසාද රටේ අගමැති වන බැවින්.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද රැස්කිරීමේ ඡන්ද මැෂිම බවට මහින්ද රාජපක්ෂ පත්වූ බැවින්.

ඒ සඳහා හැකියාව මෙන්ම බලය ද මහින්ද සතුයි.

එසේනම් ඔහු කිසිවක් නොදන්නා පුද්ගලයකු සිටින්නේ කෙසේද?

ඔහු සැබැවින්ම දේශපාලනිකව කලකිරී පසෙක සිටිනවාද?

මේ සියල්ල ඉහත සඳහන් කළ මෙරට දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ ලියැවෙන රාජපක්ෂ දේශපාලනය මෙගා ටෙලි පිටපතේ තවත් එක් ජවනිකාවක් නොවේද?

ශාරීරික වශයෙන් දේශපාලනයේ නිරතවීමට මහින්ද රාජපක්ෂට අසීරුව ඇති මොහොතක හැකි තරම් කලක් මහජනතාව තුළ මහින්ද රාජපක්ෂ පිළිබඳ ඇති ජනප්‍රියතාවය ආරක්ෂා කරගනිමින් ඒ ඔස්සේ ආණ්ඩුවද යම් ආකාරයකට රැකගැනීමේ මහින්ද සුළඟ නැවත හැමීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නේ ඒ නිසාය.

“ගෝඨාභය රාජපක්ෂට වැරදිලා. බැසිල් දුෂිතයි , මහින්ද මහතයා නම් එහෙම නෑ.

මේවා බලන් ඉන්න බැරි නිසා මහින්ද ඉන්නේ කලකිරිලා, මහින්ද මහත්තයා මේක බාර ගන්න ඕන, ඔබතුමා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ, ඔබතුමා මේක අරගෙන කරන්න, ගෝඨාභය මහත්තයෝ මේක මහින්ද මහත්තයට දෙන්න”

වගේ කතා කියවෙන්නේ එනිසාය.

මහින්දම බිහිකළ , මහින්ද අගමැති වූ ආණ්ඩුවේ මහින්දට කළ නොහැකි දෙයක් තිබේද?

ගොඩේ බාසාවෙන් අහනවා නම් මහින්ද බබාද?

එය කිසි විටෙක නොවිය හැක්කක්.

එසේ නම් සිදුවන්නේ කුමක්ද ?

2012 වසරේ ආර්ථික ඝාතකයින් කරළියට ගෙන ආ වර්තමානයේ තමන් චෝදනා කළ ආර්ථික ඝාතකයින් ජනාධිපති ලේකම්වරුන් ලෙස කටයුතු කරද්දී මීක් නොමැතිව ආණ්ඩුවේ ඇමතිකම් දෙන අය මේ තමාගේ පිටුපස ඇති බෝඩ් ලෑලි වෙනස් කරමින් පැමිණෙන්නේ කුමකටදැයි අවබෝධ කර ගැනීමට නම් ඔලුගෙඩි ඇතුලෙ මොළ ගෙඩි ද තිබිය යුතුය.

එසේ තිබෙන අය වෙන්නේ කුමක්දැයි කියා අවදියෙන් බලා සිටිය යුතුය.

එවිට උතුම් වූ සත්‍යාවබෝධය ම සාක්ෂාත් වනු ඇත.

© මී මැස්සා

About The Author