Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහා නාහිමියන්ගේ නම විකිණු නළුවාට වැඩ වරදී

මල්වතු මහා නායක ස්වාමින්ද්‍රයන්වහන්සේගේ ඥාති පුත්‍රයකු බව කියමින් හැදුනුම්පතක් සකස්කර ගැනීම සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කළ බව කියන පුද්ගලයකු මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දිගන, නවනගරය, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු ටෙලි හා වේදිකා නාට්‍යවල සුළු චරිතවලට පෙනී සිටි නළුවකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මොහු ඉකුත් 14 වැනිදා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාල අයදුම්පත බාරදී තමන් මල්වතු මහනාහිමියන්ගේ ඥාති පුත්‍රයකු බව කියමින් එම කාර්යය කඩිනමින් සිදුකර දෙන ලෙස බලපෑම් කළ බව නිලධාරීන් පොලීසියට පවසා තිබුණා.

ඉන් අනතුරුව සැකකරු මල්වතු මහ නාහිමියන් ලෙස පෙනී සිටිමින් ඔහු අවස්ථා කීපයකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට දුරකතන මගින් අමතමින් තම ඥාති පුත්‍රයාගේ හැඳුනුම්පත කඩිනමින් සකසා දෙන ලෙස දැනුම් දී තිබූ බවට ද කරුණු අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් සැක සිතී කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මල්වතු මහ නාහිමියන් දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කර තිබුණා.

අනතුරුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, මහනුවර පොලිස් අධිකාරි 1 ඉලංගකෝන් යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

About The Author