නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුත් අමුතු කතාවක : ජනපති මාධ්‍ය අංශය ගෑස් සමාගම වෙනුවෙන් නිවේදන නිකුත් කරයි
මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පුපුරා යාමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ද ගෑස් පුපුරා යාම මෙන්ම ආන්දෝලාත්මක වී තිබෙනවා.
මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා.
එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සදහන් කරන්නේ ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය පමණක් වෙනස්ව ඇති බව සිය විද්වත් කමිටුව අනාවරණය කරගත් බවයි.
කෙසේවෙතත් ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම් හා ගිනි ගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට සිය විමර්ශනවලදී අනාවරණය නොවූ බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒ මහතා සඳහන් කළේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීම් වාර්තා වූ පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් මාසයට අදාලව ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 28 කුත් ලාෆ්ස් සමාගම ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහසක් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.
එම ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් පැවතුනේ නම් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් ලක්ෂ 28ක් වාර්තා විය යුතුව තිබුනද එම කාලයේ ලිට්‍රෝ සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වූයේ සිදුවීම් 796 ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.
එම සිදුවීම් ලිට්‍රෝ සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 0.02% ක් පමණක් බව ඒ මහතා පවසනවා.
එමෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහස අතරින් ගෑස් සිලින්ඩර 50 ක් ආශ්‍රිතව පමණක් සිදුවීම් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.01% ක් ප්‍රමාණයක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
එබැවින් ගෑස් සංයුතිය නිසා මෙම පිපිරීම් සිදුවන බව නිගමනය කරන්නේ නම් එම කාලය තුළ ගෑස් සමාගම් නිකුත් කරන ලද මෙම ගෑස් සිලින්ඩර ප්‍රමාණයට සාපේක්ෂව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීමේ සිදුවීම් අවම වශයෙන් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වාර්තා විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා.
අදාළ සමාගම් සාපරාධී අපරාධයක් සිදුකිරීමේ වුවමනාවෙන් හෝ අපරාධමය නොසලකා හැරීමක් ලෙස ගෑස් සිලින්ඩර සංයුතිය වෙනස් කර ඇති බවට කිසිදු කරුණක් අනාවරණය නොවූ බව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.
එබැවින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වාදෙන්නේ.
මේ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පවසන කරුණුවලට හාත්පසින් පරිබාහිර පැහැදිලි කිරීමක් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කිරීම රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කර තිබෙනවා.
මාධ්‍යයට කරුණු වසන් කරමින් සැඟවී සිටි බවට චෝදනා එල්ල වූ ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතාද කරලියට කැඳවමින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කිංස්ලි රත්නායක මහතා විසින් වැඩසටහනක් සංවිධානය කර කර තිබුණේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය තුලයි.
එහිදී ලිට්රෝ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශ උපුටා දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිල කිරීමට යෙදෙන අය වගේ මාධ්‍ය අංශය කටයුතු කර තිබුණා.
එපමණක් ද නොව එය ජනාධිපතිවරයා ගේ නිල ෆේස්බුක් පිටුවේද පළ කර තිබූ අතර පසුව එය ඉවත් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ අදාල ප්‍රකාශයයි.
ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මාධ්‍ය හමුව මෙහෙයවීය.
ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණද මෙතෙක් වාර්තා වූ කිසිදු සිදුවීමක් ගෑස් සංයුතියේ වෙනසක් නිසා ඇතිවූ සිදුවීම් නොවන බව මේ වන විට තහවුරු වී තිබේ. ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එක් පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා පැවසිය.
ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ SLS සහතිකය සහිත නිර්දේශ දැන් නිකුත් වී ඇති අතර, ද්‍රව ගෑස් සංයුතිය බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක සම්මිශ්‍රණයකි. අද සිට “Propane Max 30% Vol” ලෙස ගෑස් සිලින්ඩරයේ මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පැවසීය.

රටේ ජනතාවට භීතියෙන් සහ ත්‍රාසයෙන් තම නිවෙස් තුළ ජීවත්වීමට සිදුවූ අභාග්‍යසම්පන්න තත්ත්වය නිර්මාණය කිරීමට වගකිව යුත්තෙකු මේ දක්වා හඳුනාගැනීමට හෝ දඬුවම් නියම කිරීමට කිසිදු පාර්ශ්වයකට මෙතෙක් හැකිවී නැහැ.
ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා , නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් බැඳී සිටින පොලිස් නිලධාරීන් පෙනී සිටින්නේ අපරාධ චෝදනා එල්ල වුවන් වෙනුවෙන්නම් එය ඛේදනීය තත්ත්වයක්.
එමෙන්ම පැහැදිලිව රටම චෝදනා එල්ල කරන අපරාධකරුවන් සිදුකර ඇති අපරාධය දැක දැකත් පෙනි පෙනීත් මහාචාර්ය කමිටු විසින් පෙන්වාදී තිබියදී එම අපරාධකරුවන් නිවැරදිකරුවන් බව පවසන පොලිසියකින් පාස්කු ප්‍රහාරය වැනි බරපතළ ගණයේ අපරාධ වලට සාධාරණය ඉටු වෙතැයි බලාපොරොත්තු වන්නේ කෙසේද?
රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධ යුක්තිය පිළිබඳ කවර කතාද ?
එපමණක් නොව ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සහ ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව ද මෙවැනි දෑ සඳහා යොදාගන්නා රටක ජනතාවට හිමිවන්නේ ” අබ සරණ” මිස වෙන කුමක්ද?
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?