ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ වයඹ දිගට වන්නට විශේෂ ගසක් පිහිටා තිබේ. බැලූ බැල්මට එය සාමාන්‍යයෙන් ගෙවත්තේ දක්නට ලැබෙන ආකාරයේ සිහින් කඳක් සහිත, මඳක් විශාල පත්‍ර පිහිටා තිබෙන ගසකි. එහෙත් හොඳින් බැලූ කල අදාළ පත්‍ර මත සිහින් කෙඳි වැනි බූවක් දක්නට ලැබේ.
බොහෝ කාලයක් මුළුල්ලේ මෙම ගස එම ප්‍රදේශයේ දක්නට ලැබුණ ද, මෙයට දින කිහිපයකට ප්‍රථම ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙන්නේ මෙම ශාකය බොහෝ විෂ සහිත එකක් බව යි. සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ ජීවත් වන, බොහෝ විට එළිමහන් ක්‍රියාකාරකම්වල නියැලෙන පුද්ගලයින් වරින් වර අසනීප වී තිබුණ ද, ඒ මෙම වෘක්ෂයේ බලපෑමක් නිසාවෙන් බව සොයා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් සාමාන්‍ය ජනතාව සිය ගමන් බිමන් යෙදුණු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කොට, වඩාත් සැලකිලිමත් වූ හෙයින් ඔවුන් පෙළුණු අසනීප තත්ත්වයන්ට හේතුව අදාළ වෘක්ෂයදැයි සැක පහළ විය. විශ්ව විද්‍යාලයීය පර්යේෂකයින් හට එම සැකය ඔස්සේ ගොස් සාර්ථක ප්‍රතිඵල ලබා ගතහැකි වූ බව පෙනේ.
මෙම සිහින් කඳැති වෘක්ෂය හඳුන්වන්නේ ” ගිම්පි ගිම්පි” යන නමිනි. එහි විද්‍යාත්මක නාමය Dendrocnide excelsa නම් වෙයි. පර්යේෂකයින් පැහැදිලි කර දෙන්නේ මකුළු දැලක මෙන් හිදැස් පිහිටා ඇති මෙම ගසෙහි පත්‍රවල දිවි මකුළුවන් හෝ ගෝණුස්සන්ගේ දළෙහි පවතින තරමට ම විෂ ගැල්වී ඇති බව යි. මේ වන විට පර්යේෂකයින් මෙහි එන විෂ “ගිම්පීටයිඩ්” යනුවෙන් නම් කොට තිබේ. ගිම්පි ගිම්පි ගසෙහි කොළය සිරුරෙහි වැදුණු පුද්ගලයෙකු හට පළමුවෙන් ම දැනෙනු ඇත්තේ දැඩි පිළිස්සීමකි. පැය කිහිපයකට පසු එම පිළිස්සීමේ ගතිය වෙනස් වී වාහනයක දොරට හසු වූවාක් මෙන් අධික වේදනාවක් හට ගනී. මෙම ඉවසා ගත නොහැකි අපහසුව දින ගණනක් හෝ ඇතැම් විට සති ගණනක් පවා පැවතිය හැකි ය. පර්යේෂකයින් පවසන අන්දමට ඊට හේතු වන්නේ මෙහි ඇතුළත් වී ඇති විෂ අංශු එකිනෙක ගැට ගැසී තිබීමයි. එමඟින් රෝගියාගේ සංවේදන ස්නායු ද කිසියම් ආකාරයකට ගැට ගැසීමකට ලක් වේ.
අදාළ විෂ සඳහා ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින් තවමත් වෛද්‍යවරුන් හට කළ හැකි ව තිබෙනුයේ රෝගියාගේ වේදනාව අඩු කිරීම සඳහා කිසියම් බෙහෙතක් ලබා දීම පමණි. එහෙත් වෘක්ෂ ගහණය තදින් පැතිරී ඇති හෙයින් ආපදාවට ලක් විය හැකි පුද්ගලයින් ද බොහෝ ප්‍රමාණයක් සිටින නිසා, ඉක්මනින් ඖෂධයක් සොයා ගැනීමට තමන් උත්සාහ දරන බව පර්යේෂකයෝ පවසති.
විෂ පිරි ඔළිඳ ඇට.
ඔබ කුඩා කල ඔළිඳ කෙළියෙහි යෙදෙන්නට ඇත. අවම වශයෙන් ඒ පිළිබඳ අසා වත් ඇති. කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද ඉතා ප්‍රීතියෙන් පරිහරණය කරන මෙම ඔළිඳ ඇට සැබවින් ම විෂ සහිත බව ඔබ දන්නවා ද?
කොරල් පබළු ශාකය, කකුළුවන්ගේ ඇස, වාසනාවන්ත බෝංචි, යාඥා පබළු, රතු පබළු සහ කොන්ත කව්පි යනාදී නම්වලින් ද හැඳින්වෙන Abrus precatorius හෙවත් ඔළිඳ ශාකය බොහෝ දුරට අග්නිදිග ආසියාවට අයත් රටවල වැවී තිබෙනු දක්නට ලැබේ. මෙහි කව්පි කරල්වලට සමාන අඟලක පමණ දිගකින් යුත් කරල් හට ගනී. අතිශයින් විෂ සහිත කළු පැහැති තිතක් සහිත තද රතු පාට බීජවලින් එය පිරී ඇත. මෙම බීජවල ඇතුළත් විෂ “ඇබ්‍රින්” යනුවෙන් හැඳින්වේ. බීජයේ මෘදුබව හා අලංකාරය හේතුවෙන් ආසියාව පුරා ජනතාව නොයෙක් වැඩකටයුතු සඳහා මෙම ඔළිඳ ඇට භාවිතයට ගන්නා බව පෙනේ.
විෂ සහිත වුවත් ඔළිඳ ඇට යනු චීන ජනතාවට අනුව ප්‍රේමයේ සංකේතයක් වන අතර ඔවුන් එය හඳුන්වන්නේ “ෂියැං සි ඩූ” හෙවත් “අන්‍යෝන්‍ය ආදර බෝංචි” ලෙස ය. 16 වන ශතවර්ෂයේ දී ලන්දේසි වෙළෙන්දෝ ඔළිඳ බීජ පබළු ලෙස විකිණීම සඳහා යුරෝපය හා ඇමරිකාව වෙත ගෙන ආහ. “මැලේ අර්ධද්වීපයේ විෂ සහිත ශාක” (උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, 1898) ලේඛනයට අනුව ඕලන්ද ජනතාව විසින් ද මෙම විෂ සහිත බීජ සිය කාන්තාවන් වෙනුවෙන් මාල සෑදීම සඳහා මුතුවලට ආදේශකයක් ලෙස යොදා ගන්නා ලදී.
සැබැවින් ම කියතොත් මෙම ඔළිඳ බීජ භාවිතයෙන් ආභරණ සෑදීම ඉතා භයානක වන අතර, බීජ හිල් කොට නූලට පටලවන අතරතුර ඇඟිලි තුඩුවල විෂ තැවරී මිනිසුන් මිය ගිය අවස්ථා තිබේ. එවැනි අන්තරායක් තිබියදීත්, ඔළිඳ බීජ තවමත් ලෝකයේ බොහෝ නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල අලංකරණ පබළු ලෙස භාවිත වන බව පෙනේ. මාලය ගෙල පලඳන්නා හට ද අන්තරායක් නැත්තේ නැත. යම් හෙයකින් සිදුරු වී ඇති බීජයෙන් ඉවතට ආ විෂ ස්වල්පයක් යමෙකුගේ ගෙලෙහි තැවරුණහොත් මරණය පවා සිදු විය හැකි ය. එහෙත් එම විෂ සහිත ආභරණ ලොව පුරා කෙතරම් ජනප්‍රිය ද යන්න කියතොත් අන්තර්ජාලය හරහා වුවත් මිළ දී ගැනීමට පහසුකම් තිබේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්