Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල් විජයග්‍රහණය කරයි : ලංකාවට පැමිණි අරමුණු ඉටුකරගත් බව දැනුම් දෙයි

බී.බී.සී (සිංහල) වාර්තාකරයි

බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම අද (ජුනි 09) නිවේදනය කරමින් පැවසුවේ අද රටේ පත්ව ඇති තත්ත්වයට යම් ආකාරයකින් මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා වගකිවයුතු බවත් ඔහු මෙරටට පැමිණියේ තමන්ට එරෙහිව ඇති නඩු හබ වලින් නිදහස් වීමට බවයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන නමුත් දේශපාලනයේ යෙදෙන බව යි.

“අද සිට රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කෙළින්ම නතර කරන්න විදහක් නැහැ,” ඔහු ප්‍රකාශ කළේ ය.

පුරප්පාඩු වන මන්ත්‍රීධුරයට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීම සම්පූර්ණයෙන්ම පක්ෂයට අයිති කාර්යක් බව ද ඔහු සඳහන් කළේ ය.

ධුරයෙන් ඉවත් වන්නේ 21 වැනි සංශෝධනය නිසාදැ යි මාධ්‍යවේදීන් මෙහිදී බැසිල් රාජපක්ෂගෙන් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ හේතුව එයම නොවන බව යි.

“ඒක හන්දම නොවේ. මාව වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ දැන්. ඇත්තට මම ආවේ මුදල් අමාත්‍යංශය භාර ගන්න කියපු හන්දා. මම කිව්වානේ දේශපාලනය යි, රාජ්‍ය පාලනයයි දෙකක් කියලා. මුදල් අමාත්‍යධුරය අතහැරිය හැටියම විධායක කටයුතුවලින් ඉවත් වුණා. ඊළඟට ව්‍යවස්ථාදායක කටයුතුවලින් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් තිබුණා. මම කොහොමත් අයිති වෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි කියලා හිතනවා.”

තමා අමෙරිකාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි කාරණා දෙකම මේ වන විට ඉෂ්ට වී ඇති බව බැසිල් රාජපක්ෂ පැවසුවේ ය.

තමාට එරෙහි නඩුවලට මුහුණ දීම පළමු කාරණය වූ අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට තමා වගකිව කිව යුතු ය යන්න දෙවැනි කාරණය වූ බවත් ඔහු සඳහන් කළේ ය.

නඩු සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් වීමට තමාට හැකි වූ බවත්, මහින්ද රාජපක්ෂ යළි ජනතාව පිළිගන්නා නායකයෙකු ලෙස බලයට ගෙන ඒමට හැකි වූ බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේ ය.

“වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චෙන්ජ් එකක්. පුද්ගලයෝ චෙන්ජ් එකක් නෙමෙයි. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ හැමදාම පුද්ගලයෝ මාරු කිරීම. ඉතින් දැන්වත් මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් සිස්ටම් චෙන්ජ් එකක් වෙයි කියලා පුද්ගල චෙන්ජ් එකක් නැතිව.”

“මගේ ශක්තිය ප්‍රමාණයට මම කරන්න තියෙන දේවල් කළා. ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලු දේවල් කරන්න බැරිවුණා,”යි පැවසූ ඔහු, තමා මුදල් අමාත්‍ය ධුරය භාර ගන්න විට සංචිත නොතිබූ බව ද ප්‍රකාශ කළේ ය.

ජනතාවට බෝලේ පාස් කළේ නැහැ

මාධ්‍යවේදීන් මෙහිදි විමසා සිටියේ වත්මන් අර්බුදයට වගකිව යුත්තේ කව්ද යන්න පිළිබඳවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ “අපි හැමෝම වගකීම දරන්න ඕනේ. මම ඒකේ කොටසක් දරනවා. හැබැයි මම නම් අවුරුද්දක්වත් හිටියේ නැහැ. මාස 07ක් 8ක් වගේ තමා හිටියේ.”

මාධ්‍යවේදියෙකු මෙහිදී විමසුවේ අර්බුදයට වගකිව යුත්තේ දේශපාලනඥයින්ද ගමේ ජනතාව යන්න පිලිබඳවයි?

“කව්ද වගකිව යුත්තේ කියලා දිගට දිගට ගිහාම කෙලවරක් තියෙන්න ඕනේ. එච්චර දුරට යන්න ඕනේ නැහැ. හැබැයි යම් ආකරයකින් මේකේ මාධ්‍යවේදීනුත් හැමෝම වගකියන්න ඕනේ.”

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ, පවත්නා අර්බුදයට ජනතාව ගේ පැත්තට බෝලය පාස් කරන්නේ ඇයිද යන්න පිළිබඳවයි.

“ජනතාවට බෝලේ පාස් කරා කියන්න එපා. ජනතාවට බෝලේ පාස් කළේ නැහැ. බොරු කියන්න එපා ඔයා. හැම තිස්සෙම නිකං බෝලේ පාස් කලා කියන්නේ මොකද්ද. මට බෝලයක් ඇත්තෙත් නැහැ.”

ජනතාවත් යම් කිසි ප්‍රමාණයක් වගකියන්න ඕනේ කියලා කියන්නේ මොකද්ද? මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

“අපි කට්ටියට බලය දුන්නට ඒක වග කියන්න ඕනේ. ඉතින් ඒක නේ කියන්නේ. එහෙම නම්. දැන් ඔහේලා කියන විදිහට අපි නම් බොලේ පාස් කළේ. අපිට බෝලයක් දුන්න කට්ට්යත් වගකියන්න ඕනේ. අවංකව මේ රට දියුණු කරන්න ඕනේ නම්, අපි ආහාර අතින් කාගෙන්වත් යැපෙන්න බැහැ. අලුත්ම එක බලශක්තිය අතින් යැපෙන්නත් බැහැ. මේ දෙකෙන්ම ස්වයං පෝෂිත වුණොත් තමයි. ඒකියන්න අපි බලශක්තිය පැතැතෙන් අපි යැපුණොත් අපිට රටක් දියුණු කර ගන්න බැහැ.”

බැසිල් රාජපක්ෂ තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමෙන් ජනතාවට විශාල බදු බරකට මුහුණ දීමට සිදුවන බවයි.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රෝහණ රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායකට අද (09) බාර දුනනේය.

ඔහු 2021 වසරේ ජූලි මස 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. අනතුරුව ඔහු මාස කිහිපයක් මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

බැසිල් රෝහණ රාජපක්ෂ මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

කවුද මේ බැසිල් රාජපක්ෂ?

බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍යධුරය භාර දී ආණ්ඩුව ඉදිරියේ ඇති ආර්ථික අභියෝග ජය ගනිමින් සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට නම්, බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය වී තිබුණි.

“බැසිල්ට මොළ හතක් තියෙනවා,” “මහින්ද දුටුගැමුණු රජු වගේ, බැසිල් කාවන්තිස්ස රජු වගේ,” “අපි කිසි කෙනෙකුට හිතන්නවත් බැරි කාරණා සාර්ථක කළ හැකි අපූර්ව හැකියාවක් සහිත පුද්ගලයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ,” පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එවකට එලෙස පවසා තිබුණි.

බැසිල් රාජපක්ෂ පිළිබඳව BBC සිංහල සේවය කළ කෙටි විමසුමක් මේ

  • බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සහ අමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය උසුලයි.
  • සම්පූර්ණ නම – බැසිල් රෝහණ රාජපක්ෂ
  • උපන් දිනය – 1951 අප්‍රේල් 27
  • අධ්‍යාපනය – කොළඹ ආනන්ද විද්‍යාලයය
  • මවුපියන් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක
  • සහෝදර සහෝදරියන් – චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ
  • බිරිඳ – පුෂ්පා රාජපක්ෂ

ඔහුට එක් දරුවෙකු සිටියි.

දේශපාලන ඉතිහාසය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පවසන පරිදි බැසිල් රාජපක්ෂ යනු “දිගු පැටිකිරියක් ඇති හොඳ දේශපාලන සත්ත්වයෙකි.”

1970 බෙලිඅත්ත මන්ත්‍රී ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් බැසිල් දේශපාලනයට පිවිසීය.

ඔහු, කලක් ඔටුන්න හිමි කුමරා ලෙස දේශපාලන ලෝකයේ හැඳින්වුණු, බණ්ඩාරනායක යුවළගේ එකම පුත් අනුර බණ්ඩාරනායකගේ හිතෛෂියෙකු විය.

1977 ලද මහා පරාජයෙන් පසු, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව අනුර සහ මෛත්‍රිපාල සේනානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනම පක්ෂයක් පිහිටුවාගත් අතර, එම පක්ෂයේ මහ ලේකම්වරයා වූයේ බැසිල් රාජපක්ෂ ය.

2010 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාර ගනිමින්
ඡායාරූප ශීර්ෂ වැකිය,2010 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය භාර ගනිමින්

අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රිපාල සේනානායක යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ අතර බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට එක්විය.

එවක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායක යටතේ ඔහු කටයුතු කළේ ය.

“මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, ගාමිණි දිසානායක වැන්නන් දේශපාලනිකව ඇසුරු කිරීමේ වාසිය පොඩි වාසියක් නොවේ. කොතැන සිටියත් ඔහු හැම මැතිවරණයකදීම මහින්දගේ මැතිවරණ කළමනාකරු ද විය. ඉන්පසු මහින්ද ජනාධිපති වූ අවුරුදු 10කට ආසන්න කාලයේ බැසිල් ආණ්ඩු පාලනයේ ලැබූ අත්දැකීම් ද සුළුපටු නොවේ. කෙටියෙන් කියන්නේ නම් බැසිල් දිගු පැටිකිරියක් ඇති හොඳ දේශපාලන සත්ත්වයෙකි,” දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ තැබූ දීර්ඝ සටහනක දැක්විණි.

2005 ජනපති සටන

1997 වසරේ දී ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන ඔස්සේ බැසිල් රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය විය.

ඒ අතරවාරයේ වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි ඔහු 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කළ අයෙකු ලෙස සැලකේ.

2007 වසරේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළේ ය.

යුද්ධයෙන් පසු: 2010 – 2015

2009 යුද ජයග්‍රහණයෙන් පසු 2010 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලද දැවැන්ත ජයග්‍රහණයට බැසිල් රාජපක්ෂ “යෝධ ශක්තියක්” විය.

ඒ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වුණු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ බණ්ඩාරනායකවරුන්ගේ ‘භූමිය’ ලෙස සැලකෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමිනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ (2010-2015) ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ ඔහු යුද්ධයෙන් බැට කෑ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි දියත් වූ සංවර්ධන ව්‍යාපෘතිවලට ද නායකත්වය ලබාදුනි.

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය සහ දායකත්වය පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri.lk වෙබ් අඩවිය 2015 නිකුත් කළ වාර්තාවකට අනුව පාර්ලිමේන්තු ශ්‍රේණිගත කිරීම්වල 72 වෙනි ස්ථානයේ පසුව තිබේ.

බැසිල්ට එරෙහි මූල්‍ය චෝදනා

  • දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36කට අධික ප්‍රමාණයක් සඳහා සාපරාධී විශ්වාස කඩ කිරීම
  • අංක 111/03 ගඟබඩ පාර මල්වාන ලිපිනයේ, උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල් රුපියල් මිලියන 200.03 භාවිත කරමින් අක්කර 16 ඉඩමක් මිලදී ගෙන, එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම. එම ඉඩමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පවසයි
  • දිවි නැගුම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99 සාවද්‍ය පරිහරණය. අදාළ නඩුවෙන්, ඔහු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා 2020 වසරේ දී නිදොස් කර නිදහස් කෙරිණි
  • දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වසරේ ලිත් මුද්‍රණය සඳහා 20,400,000ක් ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම

මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු බැසිල් රාජපක්ෂ වරෙක රක්ෂිත බන්ධනාගාරයේ ද පසුවිය.

එහෙත් අදාළ සියලු චෝදනාවලින් මේ වන විට බැසිල් රාජපක්ෂ නිදොස්ව නිදහස ලබා ඇති අතර, පසුගිය වසර දෙක තුළ ඔහු නීතිමය බැඳීම්වලින් තොර පුද්ගලයෙකු බවට පත්ව ඇත.

©බී.බී.සී

About The Author