Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..

මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු නැමති නිලධාරියා විසින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ පොලිසිය විසින් තමන් අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට කල්ප ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

2024.10.03 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර සරසවි ආයතනයට අයත් ප්‍රදර්ශන කුටියකදී පාරිභෝගිකයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මැදිහත් වෙමින් එම සිද්ධිය පටිගත කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට පත්වුණා. පැය පහකට ආසන්න කාලයක් කුරුඳුවත්ත පොලිස් ස්ථානය තුළ සිරගත කර සිටි කල්ප ගුණරත්න මහතා පසුව පොලිස් ඇප මත මුදා හැර තිබුණා.

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කල්ප ගුණරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ තමන් අනීතික ආකාරයෙන් අත්අඩංගුවට ගත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් මුර පොළට අනුයුක්තව කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු සහ කුරුඳු වත්ත පොලිසියේ එවකට ස්ථානාධිපති ආලෝක සේනානායක යන මහත්වරුන් වග උත්තරකරුවන් බවට පත්කරමින්.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා වග උත්තරකරුවන් කැඳවූ අවස්ථා කිහිපයකදී ඔවුන් මානව හිමිකම් කොමිසමට නොපැමිණ සිටි ඇති බවද වාර්තාවනවා.

ඉන් අනතුරුව පසුගිය නොවැම්බර් මස 27 වැනිදා මෙම පැමිණිල්ල නැවත විභාගයට ගත් අවස්ථාවේ කුරුදුවත්ත පොලිස්ථානයේ වත්මන් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වී සඳහන් කර තිබෙන්නේ අදාළ කරුණ පිළිබඳව සොයා බලා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට තමන් පියවර ගන්නා බවයි.

ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරුවන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු අදාළ සිද්ධිය පිළිබඳ සමථයකට පත්වීම සඳහා ඉල්ලා සිටින බව පොලිසිය මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා සඳහන් කර තිබෙන්නේ සිදු වූ වරද සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තමන්ගෙන් සමාව අයදී සිටින්නේ නම් සහ මේ වන විට තමන්ට එරෙහිව පදනම් විරහිත ලෙස පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාධිකරණයේ පවරා පවත්වාගෙන යන නඩු කටයුත්ත අවසන් කරන්නේ නම් තමන් අදාල සමථයට එකඟ බවයි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වූ ප්‍රධාන වග උත්තරකරු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු මහතා විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් සහ කට උත්තරයක් ලබාදෙමින් මානව හිමිකම් කොමිසම සභාව හමුවට පැමිණ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාගෙන් පසුගිය ජනවාරි මස දෙවැනි දා සමාව අයැද තිබෙනවා. එමෙන්ම අදාළ නඩු කටයුත්ත තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවත් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තමන් පියවර ගන්නා බවත් දිවුරුම් ප්‍රකාශයක් හරහා මානව හිමිකම් කොමිෂන් සභාවට ඔහු දැනුම් දී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව පොලිසිය විසින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව පසුගියදා (05) නැවත කැඳවා තිබුණා.

එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සමථයකට පත්ව ඇති බැවින් මෙම නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට පොලිසිය අදහස් නොකරන බවයි.

එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පොලිසියෙන් විමසා ඇත්තේ අදාළ නඩු කටයුත්ත අවසන් කරන්නේ නම් එය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලිඛිතව අධිකරණයට දැනුම් දිය යුතු බවයි. නමුත් එලෙස දැනුම් දීමක් නොමැතිව සමථ වීමක් පමණක් ඇති බව පවසමින් නඩුවක් ඉල්ලා අස්කර ගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දී තිබෙනවා.

මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පොලිසියට දැනුම්දී තිබෙන්නේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නේ නම් නිසි ක්‍රමවේදයට අනුව එය සිදු කරන ලෙසයි. ඒ අනුව අදාළ නඩුව ජනවාරි මස 26 වෙනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

About The Author